ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ රට ගොඩනඟන වැඩපිළිවෙළ සාර්ථකව ඉදිරියට ගෙන යෑම සඳහා ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂය ලෙස පොදුජන පෙරමුණ විසින් මෙතෙක් ලබාදුන් සහාය ඉදිරියට ද අඛණ්ඩව ලබාදෙන බව එම පක්ෂයේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ දැනුම් දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ රට ගොඩනඟන වැඩපිළිවෙළ සාර්ථකව ඉදිරියට ගෙන යෑම සඳහා ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂය ලෙස පොදුජන පෙරමුණ විසින් මෙතෙක් ලබාදුන් සහාය ඉදිරියට ද අඛණ්ඩව ලබාදෙන බව එම පක්ෂයේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ දැනුම් දී තිබේ.
තමන්ද ඇතුළු පොදුජන පෙරමුණ පක්ෂය මෑත ඉතිහාසයේ ජනාධිපතිවරුන් කිහිපදෙනකු සමඟ කටයුතු කර ඇති බවත් එම අත්දැකීමට අනුව මෙතෙක් කිසිදු ජනාධිපතිවරයකුට නොතිබූ ආකාරයේ සංවිධානාත්මක සහ ක්‍රියාශීලී කාර්ය මණ්ඩලයක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සතුව ඇති බව ද බැසිල් රාජපක්ෂ මහතා පවසා තිබේ.
ජනාධිපතිවරයා සමඟ ආණ්ඩු පාර්ශ්වයේ පක්ෂ නායකයන් ජනාධිපති කාර්යාලයේ ඊයේ (14) පැවති විශේෂ සාකච්ඡාවේදී බැසිල් රාජපක්ෂ මහතා මේ බව පවසා තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාව සඳහා ආණ්ඩු පාර්ශ්වයේ පක්ෂ නියෝජනය කරමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම්, අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, අමාත්‍ය ජීවන් තොණ්ඩමන්, එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එල්.එම්. අතාවුල්ලා මහත්වරුන් ඇතුළු මැති ඇමැතිවරු පිරිසක් සහභාගි වූහ.
තම පක්ෂයට අයත් ඇතැම් වෘත්තීය සමිති සහ සමහර ප්‍රාදේශීය දේශපාලනඥයන් ආණ්ඩුවේ ප්‍රතිපත්ති සම්බන්ධව යම් විරෝධාකල්පයක සිට අදහස් දක්වන නමුත් එම ගැටලු කිසිවක් රට ගොඩනඟන වැඩපිළිවෙළ සඳහා සහාය නොදීමට තරම් බරපතළ නොවන බව එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් බැසිල් රාජපක්ෂ මහතා පවසා ඇත. එමෙන්ම එක්ව කටයුතු කිරීමේදී මතුවන ඕනෑම ගැටලුවක් සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට හැකියාව ඇති බවත් ඒ සඳහා මාසයකට දවසක් හෝ ජනාධිපතිවරයා සමඟ මුහුණට මුහුණ හමුවී සිදුකරන සාකච්ඡා වැදගත් වන බවත් බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කර ඇත.
එහිදී ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහත්වරුන්ගේ රාජකාරි ස්වභාවය අගයන බව සඳහන් කළ බැසිල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් මෙසේ ද සඳහන් කර තිබේ.
“ඇත්තටම ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස සාගල රත්නායක සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක සමඟ වැඩ කිරීම ඉතාම පහසුයි. ඔවුන් ඕනෑම අවස්ථාවක සාකච්ඡා සඳහා, ඇහුම්කන් දීම සඳහා සූදානමින් සිටිනවා. බොහෝ අයට මේ තනතුරු ලැබුණාම ඔවුන්ට දුරකතන ඇමතුමක්වත් ලබාදෙන්න අවස්ථාවක් නෑ. නමුත් මේ දෙදෙනාම ඒ දුර්වලතාවයෙන් පෙළෙන්නේ නෑ. ඔවුන්ට ඒ ගැන ඇගයීම දෙන්න ඕන.
ඒ වගේම ඒ වැදගත් ලක්ෂණය ඉදිරියටත් පවත්වා ගන්න කියලා අප ඉල්ලා සිටිනවා. හැබැයි අපේ අගමැතිතුමා නම් ටිකක් කාර්යබහුලයි වගේ. දුරකතනයට සම්බන්ධ කරගන්නත් අමාරුයි. හැබැයි ජනාධිපතිතුමා එහෙම නෑ. ජනාධිපතිතුමා කොච්චර කාර්යබහුල වුණත් ඇමතුමක් ගත්ත මොහොතේම ඒකට ප්‍රතිචාර දක්වනවා. ඒ වගේ දෙයක් ජනාධිපති ලෙස සිදු කිරීම ගැන විශේෂ ප්‍රසංශාවක් හිමිවෙන්න ඕන කාරණයක්.
ඒ කොහොම වුණත් අප පක්ෂයක් විදිහට ජනාධිපතිවරයා රට ගොඩනැඟීම සඳහා ගෙනයන වැඩපිළිවෙළට මේ ලබාදුන්නා වගේම කිසිම අඩුවක් නැතුව ඉදිරියටත් සහාය ලබාදෙනවා. පොදුජන පෙරමුණට සම්බන්ධ අනෙක් පක්ෂත් ඊට එකඟයි. මාසයකට වතාවක් හෝ එකට එකතුව මේ විදිහට සාකච්ඡා කරන්න පුළුවන් නම්, අපේ පවා සමහර වෘත්තීය සමිති ප්‍රාදේශීය දේශපාලන නායකයන් දක්වන සමහර විරෝධතා විසඳා ගන්න පුළුවන්. ඒ වගේම මේ කරගෙන යන කටයුතු සඳහා අපට ඇති යෝජනා අදහස් ඉදිරිපත් කරන්නටත් පුළුවන්.”
මෙහිදී අදහස් දැක්වූ පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් පවසා ඇත්තේ ජනාධිපතිවරයා ගෙනයන වැඩපිළිවෙළට සහාය දීමට පක්ෂයක් ලෙස ගනු ලැබූ තීරණයේ කිසිදු වෙනසක් නැති බවය. මෙතෙක් ඒ සඳහා ලබාදුන් සහාය ඉදිරියට ද අඛණ්ඩව ලබාදෙන බවත් කාරියවසම් මහතා සඳහන් කර ඇත.
