සිවිල් නඩු විධාන සංග්‍රහයේ සංශෝධන සහ මැතිවරණ (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත සඳහා අනුමතිය ලබා දී තිබේ.
යුක්තිගරුක සහ නීතිගරුක සමාජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් සෙනෙවිරත්න මහතාගේ සභාපතීත්වයෙන් පසුගිය දා රැස් වූ අවස්ථාවේ දී මෙම අනුමැතිය ලබා දී තිබිණි.
සිවිල් නඩු විධාන සංග්‍රහයේ 205 වගන්තිය අනුව නඩු කටයුතු වල තීන්දු ප්‍රකාශයේ හා නඩු තීන්දුවේ සහතික පිටපත් නිකුත් කිරීමට අදාළව මෙම සංශෝධන ඉදිරිපත් කර තිබේ.
ඒ අනුව නඩුවකට අදාළ පාර්ශ්වයන්ට තීන්දු ප්‍රකාශයේ හෝ නඩු තීන්දුවේ එක් සහතික පිටපතක් නොමිලයේ නිකුත් කිරීමට මේ මගින් විධිවිධාන සපයා ඇත.
තව ද ගාස්තු ගෙවීමකට යටත්ව අදාළ පිටපත් ලබා ගැනීමට හැකියාව ලබා දීම ඇතුළු සංශෝධන මීට අයත් බව සඳහන් වේ.
මැතිවරණ (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත මගින් 2023 අංක 03 දරන මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත මගින් මැතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කළ දිනයේ සිට දින 21ක් ඇතුළත මැතිවරණ පෙත්සමක් ගොනු කිරීම සඳහා ලබා දී ඇති කාලය දින 21 සිට දින 42 දක්වා සංශෝධනය සිදු වේ.
වත්මන් නීතියට අනුව මැතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කළ දිනයේ සිට දින 21ක් ඇතුළත දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් හෝ අපේක්ෂකයන් විසින් මැතිවරණ වියදම් ඉදිරිපත් කළ යුතු අතර, එසේ නොවුණහොත් මැතිවරණ පෙත්සමක් ගොනු කිරීමේ හැකියාව ලබා දී ඇත.
නව කාලය දින 42 දක්වා සංශෝධනය කිරීම සිදු වේ.
තව ද පනත් කෙටුම්පත මගින් දැනට පවතින මැතිවරණ පනත් අනුව නියම කරනු ලබන දණ්ඩන ප්‍රමාණයන් ප්‍රමාණවත් නොවන බැවින් වත්මන් මූල්‍ය තත්ත්වයට ගැළපෙන පරිදි දඩමුදල් යාවත්කාලීන කිරීම ද සිදු වන බව දන්වා ඇත
