නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය කැඳවූ නඩුවලට පෙනී සිටින නුවරඑළිය පොලිස් කොට්ඨාසයේ පොලිස් ස්ථාන කිහිපයක පොලිස් ස්ථානාධිපතිවරුන් සහ සෙසු පොලිස් නිලධාරීන් ඊයේ (06) අධිකරණ කටයුතුවලින් ඉවත් වීම හේතුවෙන් මහේස්ත්‍රාත් අධිකරණයේ කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇත.

පොලිස් නිලධාරීන්ට සැකකරුවන් ඉදිරියේදී අපහාස වන ආකාරයෙන් බැණ වැදුණු බව කියන සිද්ධියක් පදනම් කර ගනිමින් නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටි සියලුම පොලිස් නිලධාරීන් අධිකරණ කටයුතුවලින් ඉවත් වී ඒ පිළිබඳව නුවරඑළිය සහකාර පොලිස් අධිකාරි 1 වෙත පැමිණිලි කර ඇත.

මාස කිහිපයක සිටම මහේස්ත්‍රාත්වරිය විවෘත අධිකරණයේදී සැකකරුවන් ඉදිරියේ පොලිස් නිලධාරීන්ට අපහාස වන ආකාරයට බැණ වඳින බවත් එවන් තත්වයක් තුළ පොලිස් නිල ඇදුමේ ගෞරවය ආරක්ෂා කර ගනිමින් පොලිසියේ රාජකාරී කිරීමට නොහැකි තත්වයක් උද්ගත වී ඇති බවත් නුවරඑළිය පොලිස් කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් සඳහන් කර සිටි .

මේ පිළිබඳව මීට පෙර නුවරඑළිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දැනුවත් කර ඇති අතර එයට විසඳුමක් නොලැබීම හේතුවෙන් අද දින උදෑසන 11.30ට පමණ අධිකරණ කටයුතු සිදු කරමින් පැවති අවස්ථාවේ අධිකරණ කටයුතුවලින් ඉවත් වූ බව එම පොලිස් නිලධාරීහු වැඩිදුරටත් සඳහන් කරති.

නුවරඑළිය පොලිස් කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරීයෙකු සඳහන් කළේ, මේ සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරිය හමු වී සාකච්ඡා කරන බවය.

තලවකැලේ, නානුඔය, පට්ටිපොළ, කඳපොළ ,ඩයගම, ආගරපතන, ලිඳුල යන පොලිස් ස්ථානවල පොලිස් ස්ථානාධිපතිවරුන් සහ සෙසු පොලිස් නිලධාරීන් මෙසේ රාජකාරි කටයුතුවලින් ඉවත් වීමට කටයුතු කර තිබේ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page