ආර්ථිකය ගොඩනැගීමේ අසීරු තීරණ මේ වන විට ගෙන අවසන් බවත් ජනතාවට කඩිනම්න් සහන ලබාදීම රජයේ අරමුණ බවත් මෙම වසර තුළ ශ්‍රී ලංකාව සීඝ්‍ර ආර්ථික වර්ධනයක් කරා ගෙන යන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ගුවන් හමුදා මූලස්ථානය විවෘත කරමින් පවසන ලදි.
අසීරුම තීරණ තමා මේ වන විට ගෙන අවසන් බව පැවසු ජනාධිපතිවරයා දෝෂාරෝපණයට ලක් වුවත් තමන් එම තීරණ ගත්තේ රට වෙනුවෙන් බවත්, රට රැක ගැනීමට අනෙකුත් දේශපාලනයන්ට ද වගකීමක් ඇති බව සදහන් කරන ලදි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ බත්තරමුල්ල අකුරේගොඩ හමුදා මූලස්ථානයේ ස්ථාපිත කෙරුණු නව ගුවන් හමුදා මූලස්ථානය විවෘත කිරීමේ උත්සවයට ඊයේ (01) පෙරවරුවේ එක් වෙමිනි.
සමරු ඵලකය නිරාවරණය කර නව ගුවන් හමුදා මූලස්ථානය විවෘත කිරීම ජනාධිපතිවරයා අතින් සිදු කෙරුණු අතර අනතුරුව ගුවන් හමුදාව විසින් පවත්වන ලද උත්තමාචාර පෙළපාලිය නිරික්ෂණය කිරීමට ද ජනාධිපතිවරයා එක් වන ලදි .
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා…..
ගුවන් හමුදාවට අද විශේෂ දවසක්. වසර 73 ක ඉතිහාසය තුළ ගුවන් හමුදාව මෙරට ත්‍රස්තවාදී යුද්ධයේදී මෙන්ම, අභ්‍යන්තර කෝලාහාලවලදී සහ ආපදා තත්ත්වයන්ගෙන් ජනතාව මුදා ගැනීමට කළ මෙහෙවර අසීමිතයි.
අද රටේ ආර්ථිකය ගොඩනැගීමේ සටන අප ඉදිරියේ තිබෙනවා. එය අප සියලුදෙනාගේ වගකීමක් බවට පත්ව තිබෙනවා. මම ජනාධිපති ධූරයේ වගකීම භාරගන්නා විට රටේ ආර්ථිකය සම්පූර්ණයෙන් කඩා වැටිලයි තබුණේ. ඒ අනුව රටේ ආර්ථිකය ගොඩගැනීමේ වගකීම මට භාර කෙරුණා. මෙහීදී දේශපාලනය කරනවාද, එසේ නොමැතිනම් රටේ ආර්ථිකය ගොඩනැගීම උදෙසා සෘජුව කටයුතු කරනවාද යන්න පිළිබඳ මට කැබිනට් මණ්ඩලය සමඟ සාකච්ඡා කිරීමට සිදු වුණා.
ලෙබනනය ආර්ථික වැඩපිළිවෙළ වසර දෙකකින් කල් දැමීම නිසා විශාල අර්බුදයකට මුහුණ දුන්නා. දේශපාලන අස්ථාවර භාවය නිසා ග්‍රීසියට ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට වසර දහතුනක් ගත වුණා. ඔවුන් රාජ්‍ය සේවයේ වැටුප් සියයට 50 කින් කප්පාදු කළා. නමුත් එම තත්ත්වයට පත්වීමට මට අවශ්‍ය වුණේ නැහැ. අපේ දළ දේශීය නිෂ්පාදනය පහත වැටිලා තිබුණා. අප සෘජු තීන්දු තීරණ සමඟ ඉදිරියට ගියා. 2023 වසර අවසන් වන විට අප යම් තරමක ආර්ථික ශක්තිමත් භාවයක සිටිනවා.
රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය තීන්දු තීරණ නිවැරදි වෙලාවට ගත යුතුයි. මෙම වසරේ රටේ ආර්ථික වර්ධන වේගය සියයට 3 ක් බවට පත් කර ගැනීමට අප බලාපොරොත්තු වෙනවා.
මෙම වැඩපිළිවෙළ සමග ඉදිරියට ගියහොත් 2026-2027 වන විට ආර්ථක වර්ධන වේගය සියයට 5 ක් කර ගැනීමේ හැකියාව තිබෙනවා. එවිට අප සාමාන්‍ය තත්ත්වයකට පත් වෙනවා. ඉන්පසුව තවත් සීග්‍රයෙන් ඉදිරියට යා යුතුයි. අපට සහය වීමට රටවල් බොහොමයක් මේ වන විට එකඟ වී තිබෙනවා. ඒවගේම ඔවුන් ඊළඟට අහන ප්‍රශ්නය වන්නේ අනාගතයේදී මේ ණය ගෙවීමට හැකියාව තිබේද යන්නයි. ඒ සඳහා අප නව ආදායම් මාර්ග උත්පාදනය කරගත යුතුයි.
අප පසුගිය වසරේ රුපියල් ට්‍රිලියන 3.1 ක රාජ්‍ය ආදායමක් උපයා ගත්තා. එම ප්‍රමාණය අපේ දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 12 යි.. අපි 2026 වන විට එය දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 15 කට ගෙන ආ යුතුයි. මෙම 2024 වසරේ රුපියල් ට්‍රිලියන 4.2ක් රාජ්‍ය ආදායමක් ලබා ගැනීමට අපට තිබෙනවා. වැට් බදු නැවත සංශෝධනය කිරිමට සිදු වුණේ ද ඒ සඳහායි.
ඒ වගේම ප්‍රාථමික අතිරික්තය බලාපොරොත්තු වෙන්න පුළුවන් දශම 8 ක්. නමුත් 2025 වන තෙක් එය 2.3 කට පවත්වාගෙන යා යුතුයි. මෙම ඉලක්ක සමග අපට ඉදිරියට යාමට තිබෙනවා. රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ නිවැරදි වැඩපිළිවෙළකට අප දැන් අවතීරණ වී සිටිනවා. මෙය අසීරු කටයුත්තක් බව මම දන්නවා. දුෂ්කරතා තිබෙනවා. නමුත් මේ පිළිබඳ කිහිප වතාවක් සිතීමට මට සිදු වුණා. මෙම තීරණ ගත්තේ නැත්නම් අපට නැවත පසුගිය ආර්ථික අර්බුදයට මුහුණදීමට සිදු වෙනවා. නමුත් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළොත් රටට යහපත් අනාගතයක් උදා කර ගැනීමට හැකියාව තිබෙනවා. ඒ නිසා මම රට වෙනුවෙන් මෙම තීන්දු තීරණ ගත්තා.
මම ජනාධිපති ධූරයේ වගකීම භාරගත්තේ ජනප්‍රිය වීමට නොවෙයි. මේ රට ගොඩනගා ඔබටත්, ඔබේ දරුවන්ටත් යහපත් අනාගතයක් සකස් කර දීමටයි. ඒ නිසා අසීරුවෙන් වුවද මෙම තීන්දු ගැනීමට සිදු වෙනවා. මම අගමැතිතුමාට සහ කැබිනට් මණ්ඩලයටත් මේ බව දැනුම් දුන්නා. ඔවුනුත් ඊට එකඟ වුණා. ඒ පිළිබඳ මම ඔවුන්ට ස්තූති කරනවා.
ඒ වගේම බදු එකතු කිරීම පිළිබඳ අඩු පාඩු ගණනාවක් තිබෙනවා. ඒ සඳහා නව ආදායම් අධිකාරියක් ඇති කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපට සහය ලබා දී තිබෙනවා. මෙම කටයුතු තුළින් 2025- 2026 වන විට රටේ ආර්ථිකය සියයට 5 ක පමණ මට්ටමකට ගෙන ඒමට හැකියාව ලැබෙනවා.
නමුත් එය ප්‍රමාණවත් වන්නේ නැහැ. අනාගත පරපුර වෙනුවෙන් අප සියයට 8 ක් 9 ක් ඉලක්කයක් වෙත ළඟා විය යුතුයි. එම වර්ධනය ඇති කරගන්නේ කෙසේද කියා අප දැන් සාකච්ඡා කරමින් සිටිනවා.
රටේ ආර්ථිකය ගොඩනැගීමට අවශ්‍ය අසීරු තීරණ මම දැන් ගෙන අවසන්. ඒ ගැන දෝෂාරෝපණය කළ හැක්කේ මට පමණයි. ඒ නිසා මම අනෙකුත්දේ ශපාලනඥයන්ට කියනවා රට රැකගැනීමට ඔබටත් යුතුකමක් තිබෙනවා. එසේනම් රටේ ආර්ථිකය ගොඩනැගීමට අපි එකතුවෙමු. අපි සියලුදෙනා එකතුවෙලා කටයුතු කළහොත් 2024 පසුව රට තුළ ඉතා සීග්‍ර සංවර්ධනයක් ඇතිකරගත හැකි බවට කිසිදු සැකයක් නැහැ. ඒ සමග එකතුවෙන්න කියා මම සියලුදෙනාගෙන් ඉල්ලා සිටිනවා.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා යන මහත්වරුන් ද ගුවන් හමුදාවේ විශ්‍රාමික නිලධාරීන් ඇතුළු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
