2023 වසර තුළ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම හේතුවෙන් සිය පෞද්ගලික මුදල් වලින් රුපියල් පහළොස් කෝටි විසි තුන්ලක්ෂ හැත්තෑ දහසක (රුපියල් 152,370,000) මුදලක් අගතියට පත් වූවන්ට වන්දි වශයෙන් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පොලිස් නිලධාරීන්ට නියෝග කර ඇති බව බීබීසී සිංහල පුවත් සේවය සදහන් කර සිටියා.

ඒ අනුව 2023 වසර මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම නිසා අගතියට පත්වූ වින්දිතයින් රැසකට යුක්තිය ඉටු වූ වසරක් ලෙස සැලකිය හැකි බවත් මානව හිමිකම් පෙත්සම්වලට අදාළ නඩු තීන්දු 8 ක් මගින් මෙසේ වන්දි ගෙවන ලෙස නියම වූ පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 20 ක් බවයි වාර්තා කරයි

මේ අතරට හිටපු පොලිස්පතිවරුන් වන පූජිත් ජයසුන්දර සහ සී.ඩී වික්‍රමරත්න, වත්මන් වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, වත්මන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂවරයකු වන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩබ්ලිව්. තිලකරත්න යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ද ඇතුළත්.

ශ්‍රේෂ්ඨාධිකරණ වාර්තා පෙන්වා දෙන්නේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් මූලික අයිතිවාසිකම් හඳුන්වාදීමෙන් අනතුරුව මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම නිසා වසරක් තුළ පොලිස් නිලධාරීන්ට සිය පුද්ගලික මුදල්වලින් ගෙවීමට සිදු වූ වැඩිම වන්දි මුදල් ප්‍රමාණය මෙය බවයි.

එමෙන්ම, පොලිස් දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලැබූ මෙම මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් වෙනුවෙන් රජයට ගෙවීමට සිදුව ඇති වන්දි මුදල රුපියල් 3,250,000 ක් බව අදාළ වාර්තා මඟින් අනාවරණය කරයි.

පුද්ගලයින් නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගැනීම, රඳවා ගැනීම, වධ හිංසාවට ලක් කිරීම, රාජකාරිය පැහැර හැරීම, බලය අයුතු ලෙස පරිහරණය කිරීම යනාදී චෝදනා සම්බන්ධයෙන් මෙම නිලධාරීන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වැරදි කරුවන් ලෙස නම් කර තිබෙනවා.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page