රට, ජාතිය සහ දරු පරපුර අපරාධකරුවන්ගෙන් ගලවා ගැනීම මාගේ එකම අරමුණ බවත් ඒ වෙනුවෙන් දැඩි තීරණ ගැනීමට තමන් පසුබට නොවන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සදහන් කරයි .

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිපාලනයට යටත්ව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ස්ථාපිත කෙරුණු ස්වයංක්‍රියව මුහුණු හදුනා ගැනීමේ පද්ධතිය (Automated Facial Recognition System) විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව පවසන ලදි .

වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ සංකල්පයක් යටතේ ක්‍රියාත්මක කරනු ලබන “යුක්තිය” මෙහෙයුම මගින් මත්ද්‍රව්‍ය ජාවාරම් වැටලීම සහ සංවිධානාත්මක අපරාධකරුවන් මර්දනය කිරීමේ ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමේ අභිලාශයෙන් මෙම ස්වයංක්‍රියව මුහුණු හදුනා ගැනීමේ පද්ධතිය සව් කර ඇත.

කෘත්‍රිම බුද්ධිය භාවිත කරමින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ නියමු ව්‍යාපෘතියක් ලෙස සීමිත සම්පත් භාවිත කරමින් මෙම ස්වයංක්‍රීය මුහුණු හදුනා ගැනීමේ පද්ධතිය ක්‍රියාත්මක කරනු ලබන බවත් ඒ සදහා අපරාධ වාර්තා කොට්ඨාසය තුළ පවත්වාගෙන යනු ලබන දත්ත පද්ධතියේ තොරතුරු පදනම් කර ගනිමින් සංවිධානාත්මක අපරාධකරුවන් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ දත්ත ඇතුළත් කර තිබේන බවත් වාර්තා වේ.

මෙය ආරම්භ කිරීමේ ප්‍රධාන අරමුණ වනුයේ විවිධ අපරාධ සිදු කරන ලද සංවිධානාත්මක අපරාධකරුවන් විදෙස්ගතව සිට අපරාධ මෙහෙය වීම, අපරාධකරුවන් බොහොමයක් අවිධිමත් ලෙස සකස් කරන ලද එනම් ව්‍යාජ ලේඛන භාවිතා කර සකස් කරන ලද විදෙස් ගමන් බලපත්‍ර භාවිත කරමින් පිටව යාම සහ නැවත ලංකාවට පැමිණ සැඟව සිට අපරාධ මෙහෙය වීම වළක්වාලීමයි.

එම අපරාධකරුවන් පිටව යාමේදී සහ නැවත ඒ අයුරින් ම ලංකාවට පැමිණීමේදී ඔවුන් ස්වයංක්‍රීයව මුහුණු මගින් හදුනාගැනීම වෙස්වලාගෙන හෝ අවිධිමත් ලෙස පැමිණෙන ඕනෑම සැකකරුවෙකු හදුනා ගැනීමේ හැකියාව මෙම නවීන තාක්ෂණය භාවිතා කරමින් සිදු කල හැකි ය. මෙම ක්‍රියාවලිය තුළින් මත්ද්‍රව්‍ය ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධ මැඩලීම තව දුරටත් සාර්ථකව සිදු කළ හැකි බවත් ඔවුන් නීතියේ රැහැනට හසු කර ගැනීමට පහසු වේ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page