කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ආරාධනයෙන් නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින මාලදිවයින් කථානායක ගරු මොහමඩ් අස්ලම් මහතා ප්‍රමුඛ දූත පිරිස සහ කථානායකවරයා අතර හමුවක් පාර්ලිමේන්තුවේදී සිදුවිය ..

මෙම දූත පිරිස මාලදිවයින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු අලි ආසිම්, ගරු අලි නියාස්, ගරු හුසෛන් ශහීම්, මාලදිවයින් පාර්ලිමේන්තුවේ මහලේකම් ෆාතිමා නියුෂා මහත්මිය ඇතුළු නිලධාරීන්ගෙන් සමන්විත වූ අතර මෙම හමුවට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් චමින්ද කුලරත්න මහතා ද එක්ව සිටියහ.

මෙහිදී අදහස් දැක්වූ කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේ, සාර්ක් කලාපීය රටවල් අතර මාලදිවයින සමඟ ඉතා සමීප සබඳතාවයක් ශ්‍රී ලංකාව පවත්වාගෙන යන බව සහ එනිසාම විශේෂයෙන්ම දෙරට ජනතාව අතර සබඳතාවය තවදුරටත් ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වන බව ය.

මේ අතර ජාත්‍යන්තර වශයෙන් සෑමවිටම මාලදිවයින ශ්‍රී ලංකාවට සහාය පළකර සිටීම පිලිබඳ කෘතවේදීත්වය පළ කළ කථානායකවරයා එය ඉදිරියටත් පවත්වාගෙන යායුතු බව සඳහන් කළේය.

නිල සංචාරයක් සඳහා ආරාධනා කිරීම පිළිබඳ මාලදිවයින් කථානායක ගරු මොහමඩ් අස්ලම් මහතා ස්තූතිය පළ කළ අතර මාලදිවයින් ජනතාවගේ අධ්‍යාපනය සහ සෞඛ්‍ය වැනි පහසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකාව පහසුකම් සලසා ඇති බව සඳහන් කළේය. එසේම ශ්‍රී ලංකන් ගුවන් සේවාව, ලංකා බැංකුව සහ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛපෙළේ සමාගම් මාලදිවයින් තුළ ව්‍යාපාරික අංශයෙන් දායකත්වය දක්වන බවද ඔහු පෙන්වා දුන්නේය. තවද, දෙරට පාර්ලිමේන්තු අතර ඉතා සමීප සබඳතාවයක් ඉදීරියේදීත් පවත්වාගෙන යාමට බලාපොරොත්තු වන බව මාලදිවයින් කථානායකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

එයට අමතරව, දෙරටේ පාර්ලිමේන්තු කාරක සභා ක්‍රමය සහ නීති සම්පාදන ක්‍රියාවලිය පිළිබඳව ද දෙපාර්ශවය අතර සාකච්ඡා පැවැත්විණි.

මෙම හමුවෙන් අනතුරුව දූත පිරිස පාර්ලිමේන්තුවේ සංචාරයක නිරත වූ අතර ශ්‍රී ලංකා – මාලදිවයින් පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සාමාජික මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡාවක ද නිරත විය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page