නවවැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරය ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් අද (07) විවෘත කිරීමට නියමිතය.
ඊට අදාළ පෙරහුරුව පාර්ලිමේන්තුව පරිශ්‍රයේදී ඊයේ (6) පැවැත්වූ අතර කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ සිසුවියන් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියහ.
සභාවාරය උත්සවාකාරයෙන් විවෘත කිරීමෙන් අනතුරුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 ව්‍යවස්ථාව ප්‍රකාරව ලැබී ඇති බලතල අනුව ජනාධිපති ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා පෙ.ව 10.30 ට පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතව ඇත .
නව සභාවාරය විවෘත කිරීමේ අවස්ථාව චාම් උත්සවයක් ලෙස පැවැත්වීමට ජනාධිපතිවරයාගේ උපදෙස් මත කටයුතු යොදා ඇති බවත් ඒ අනුව ත්‍රිවිධ හමුදා උත්තමාචාර, ආචාර වෙඩි මුර සහ රථ පෙළපාලි නොපැවැත්වෙන බවත් පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී කුෂාන් ජයරත්න පවසයි.
අද දින පෙ.ව 09.45 වන විට ආරාධිත අමුත්තන් හට අසුන් ගන්නා ලෙස දන්වා ඇති බවත් කථානායක මහින්ද යාපා අබේවර්ධන මැතිතුමා සහ එම මැතිණියගේ පැමිණීමෙන් පසු, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ පැමිණීම සිදු වන අතර, ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ එම ආර්යාවගේ සම්ප්‍රාප්තිය සිදු වන්නේ ඉන් අනතුරුව වේ.
එහිදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සහ පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය, පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ප්‍රධාන පියගැට පෙළ අසලදී ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා පිළිගැනීමට නියමිතය.
ඉන් අනතුරුව වේත්‍රධාරි සහ නියෝජ්‍ය වේත්‍රධාරි පෙරටු කරගත් ගරු කථානායකතුමා සහ පාර්ලිමේන්තුවේ මහලේකම්තුමිය විසින් ජනාධිපතිතුමා පාර්ලිමේන්තු මන්දිරය වෙත කැදවා ගෙන යනු ලබයි.
එම අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ ප්‍රධාන ද්වාරය අසල දී කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ සිසුවියන් විසින් ජයමංගල ගාථා ගායනා කර, ජනාධිපතිතුමාට සහ පාර්ලිමේන්තුවට ආශිර්වාද එක් කිරීමට නියමිතය.
අනතුරුව පැළදුම් කාමරයට පැමිණෙන ජනාධිපතිවරයා පෙ.ව 10.25 පමණ වන තෙක් එහි රැදී සිට සම්ප්‍රදායට අනුව නියෝජ්‍ය වේත්‍රධාරී, සෙංකෝලය අතැති වේත්‍රධාරී, ජනාධිපතිවරයා, කථානායකවරයා සහ මහලේකම්වරු යන අනුපිළිවෙලට පෙරහරින් සභාගර්භයට ඇතුළු වීම සිදු වේ. සභාගර්භයට ඇතුළු වීමේදී නියෝජ්‍ය වේත්‍රධාරීවරයා විසින් “ගරු ජනාධිපතිතුමා” යනුවෙන් හඩනගා නිවේදනය කරන අතර පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු නැගී සිට ආචාරකිරීම සම්ප්‍රදායනුකූලව සිදුවේ.
සභාගර්භයට පිවිසෙන ජනාධිපතිවරයා සභාවේ මුලසුන දරන අතර මෙම අවස්ථාවේදී කථානායකවරයා, පාර්ලිමේන්තුව කාරක සභා අවස්ථාවකදී අසුන් ගන්නා පහළ ආසනයේ ලේකම් මණ්ඩලය සමග අසුන් ගැනීම සිදුවේ. අනතුරුව ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරනු ලැබීමෙන් අනතුරුව, 2024.02.08 වැනිදා පෙ.ව 9.30 දක්වා සභාව කල් තැබීමට නියමිතය. ඉන් පසු රාජ්‍ය තාන්ත්‍රිකයන් ඇතුළු ආරාධිත අමුත්තන් වෙනුවෙන් තේ පැන් සංග්‍රහයක්ද සංවිධානය කර ඇත.
නවවැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභා වාරය උත්සවාකාරයෙන් විවෘත කිරීමේ අවස්ථාවට විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයන්, හිටපු ජනාධිපතිවරුන්, අගවිනිසුරුතුමා, නීතිපතිතුමා, ආරක්ෂක ලේකම්, ත්‍රිවිධ හමුදාපතිවරු සහ වැඩබලන පොලිස්පතිවරයා ඇතුළු ආරාධිත අමුත්තන් පිරිසකට ඇරයුම් කර ඇති බව වේත්‍රධාරී කුෂාන් ජයරත්න වැඩිදුරටත් සඳහන් කරයි එසේම මෙම උත්සවයට විද්‍යුත් ක්‍රමයට ආරාධනා පත්‍ර (E – Invitations) යොමුකොට ඇති බවද ඒ ඔහු පැවසීය.
