රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කල පෙත්සම නිෂ්ප්‍රභ කරමින් ඉකුත්දා අභියාචනාධිකරණය දුන් තීන්දුවට එරෙහිව ඉදිරිපත් කර තිබු අභියාචනා පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද විභාගයට ගෙන ඇත

සමාජ ක්‍රියාකාරිකයකු වන ඔෂල හේරත් විසින් ඉදිරිපත් කර තිබු මෙම පෙත්සම ගාමිණී අමරසේකර, කුමුදුනි වික්‍රමසිංහ සහ ජනක් ද සිල්වාගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ විභාගයට ගනු ලැබුවා.

එම අවස්ථාවේදී වගඋත්තරකාර ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරිය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මූලික විරෝධතා තුනක් අධිකරණය හමුවේ මතුකර සිටි අතර පෙත්සම්කරුට මෙම පෙත්සම ඉදිරිපත් කිරීම සඳහා නීතිමය හැකියාවක් නොමැති බවටත් අභියාචනාධිකරණ තීන්දුව නිවැරදි බවටත් මෙම අභියාචනය ගොනුකර තිබෙන ආකාරය ශ්‍රේෂ්ඨාධිකරණ රීතීන්ට පටහැනි බවත් ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු සිය විරෝධතාවලින් පෙන්වා දුන්නා.

කෙසේවෙතත් මෙම විරෝධතා නඩු විභාගය පැවැත්වෙන අවස්ථාවේදී ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති නීතිඥවරයාට දැනුම් දුන් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අනතුරුව පෙත්සම් විභාගය ආරම්භ කළා.

පෙත්සම්කාර ඔෂල හේරත් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හෆීල් ෆාරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක් වන රාජ්‍ය අමාත්‍යවරිය මෙරට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියක ලෙස තේරී පත්වීම සහ අසුන් ගැනීම සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවයි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page