සීතාවක කේන්ද්‍ර කරගත් සංචාරක කලාපය පසුගිය කාලය තුළ වේගවත් දියුණුවක් කරා ගමන් කර ඇති බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සදහන් කර සිටි.
ඔහු මේ අදහස් පළ කළේ, අවිස්සාවේල්ල ප්‍රදේශයේ ඉදිකළ තරු පහේ හෝටලයක් වන සීතාවක රිජන්සි හෝටලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
රුපියල් බිලියන 15 ක ආයෝජනයක් වන සීතාවක රීජන්සි නව හෝටල් පරිශ්‍රය සීතාවක ප්‍රදේශයේ සංචාරක කර්මාන්තයේ විසල් වෙනසක් ඇති කරනු ඇතැයි ද අග්‍රාමාත්‍යවරයා විශ්වාසය පළ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා….
”සීතාවක පුරවරය අභිමානවත් ඉතිහාසයකට, සොඳුරු පරිසරයකට හිමිකම් කියන ප්‍රදේශයක්. වසර 500 කට පමණ ඉහත දී තමයි පළමු වරට සීතාවක නගරයක් බවට පත්වුනේ. මායාදුන්න සහ රාජසිංහ පිය පුතු දෙපළගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වූ බොහෝ බලසේනාවන් නගරය තුළ ක්‍රියාකාරීව කටයතු කළා. අපේ බොහෝ මුතුන් මිත්තන්,ඒ යුගයේ මෙහි වාසය කරන්නට ඇති. ඒ ඓතිහාසික පුරවරය වන සීතාවක පුරවරය අභිමානයෙන් දියුණු කිරීමට අපි කැප වී කටයුතු කරනවා.
සීතාවක රීජන්සි යනු සිත් ඇදගන්නාසුලු මෙන්ම නවීන යුගයට ගැළපෙන තරු පහේ හෝටලයක්. එය ශ්‍රී ලාංකිකයන් පමණක් නොවෙයි විදේශීය සංචාරකයන් ද ආකර්ෂණය කරගෙන තියෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙරට සංචාරක කර්මාන්තයේ පරිවර්තනයක් ඇති කළ හැකි නව වැඩපිළිවෙළක් පසුගියදා නිවේදනය කළා. පසුගිය වසර කිහිපය ශ්‍රී ලාංකිකයන් ලෙස අප දුෂ්කර කාලයක් පසු කළ බව ඔබ දන්නවා. අපේ රටේ ආර්ථිකය කඩාවැටීමෙන් පසුව,යළිත් අපි දේශපාලන, ආර්ථික ස්ථාවරත්වය සමඟ ප්‍රකෘති තත්ත්වයට පත් වෙමින් ඉන්නවා. සංචාරක කර්මාන්තය වේගයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන මේ මොහොතේ සීතාවක රීජන්සි හෝටලය නවීන තාක්ෂණයෙන් සන්නද්ධ වී තිබීම පිළිබඳ මා අතිශයින් සතුටට පත් වෙනවා”
“නවමු අත්දැකිමක් දෙස් විදෙස් සංචාරකයින්ට ලබා දෙන සීතාවක උද්භිද උද්‍යානය, අද වන විට පේරාදෙණිය උද්භිද උද්‍යානයට පැමිණෙන අමුත්තන් සංඛ්‍යාවට සමාන වන අතර ආයෝජන කලාපය වටා සිදුවෙමින් පවතින අනෙකුත් වර්ධනයන් ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීම පමණක් නොව අපේ නිෂ්පාදන ලෝකයේ විවිධ ප්‍රදේශවලට අපනයනය කිරීමට විශාල පිටිවහලක් වෙලා තියෙනවා. සීතාවක සංචාරක කලාපය දියුණු කිරීම සඳහා වන මූලික අවශ්‍යතාවක් ලෙස කැලණිවැලි දුම්රිය මාර්ගය දියුණු කිරීම සඳහා වූ වැඩපිළිවෙළ මේ වන විට අප ආරම්භ කර තියෙනවා.තවමත් මේ දුම්රිය ගමනාගමනය සිදුවන්නේ මන්දගාමීව. සංචාරක කර්මාන්තයට මෙන්ම අදාළ ක්ෂේත්‍රයේ අනෙකුත් ආයෝජකයන්ට වැඩි ආකර්ෂණයක් ගෙන දෙන නව වේගවත් දුම්රිය හඳුන්වාදීමේ නව ක්‍රියාවලියක් අප දැන් සැලසුම් කරමින් සිටින බැවින් ඉදිරි වසරවලදී එය සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා”
……..
බිලියන 15 ක ආයෝජනයකින් ආරම්භ කරන ලද සීතාවක රීජන්සි හෝටල් ව්‍යාපෘතිය මගින් 300 දෙනෙකුට පමණ රැකියා උත්පාදනය සිදුවේ.
මෙම අවස්ථාවට පාර්ලිමේතු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, සීතාවක රීජන්සී සමූහ ව්‍යාපාරයේ සභාපති විමල් පෙරේරා, කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිෂාන්ත පෙරේරා ඇතුළු සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ විශාල පිරිසක් එක් වූහ.
