ජාතික ජන බලවේගයේ රතු සහෝදරයින් ඉන්දීයාවේ සංචාරය නොකළා නම් UPI ගෙවුම් පද්ධතියට එරෙහිව මෙරට තුල විශාල ව්‍යාජ මතයත් නිර්මාණය කිරීමට ඉඩ තිබූ බවත් ඔවුන්ගේ ඉන්දීය සංචාරය සමඟ මෙතක් පැවති ඉන්දීය විරෝධි ප්‍රතිපත්තිය වෙනස් වීම මගින් ප්‍රතිපත්තියක් නොමැති බව පැහැදිලි බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි
ඉන්දීය විරෝධී ප්‍රතිපත්ති වෙනස්වීම සාධනීය කාරණයක් වුවත් එම ප්‍රතිපත්තිය හේතුවෙන් ජීවිත අහිමි වූවන්ට යලිත් එම ජිවිත නොලැබීම ඉතා කණගාටුදායක බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ වැල්ලවාය මහජන ක්‍රිඩාංගනයේ පැවති ජයගමු ශ්‍රී ලංකා වැඩසටහනේ සමාරම්භක උත්සවයේදී ය.
කම්කරු හා විදේශ රැකියා ආමත්‍යාංශය විසින් සංවිධානය කළ ජයගමු ශ්‍රී ලංකා වැඩසටහන මගින් අමාත්‍යාංශය යටතේ පවතින සියලුම ආයතනය වල සේවාවන් සහ අනෙකුත් රාජ්‍ය අයාතන වල සේවාවන් මහජනතාව වෙත ගෙනයාම අපෙක්ෂා කරයි.
ඉදිරියේදී ඉන්දියාවට මෙරට තුල ව්‍යාපෘති කිරීමට බාධාවක් නොවනු ඇති බවට අපෙක්ෂා කරන බවත් එමගින් ඉන්දියාව මෙරටට ලබාදෙන සහය ඉහළයාමට හැකියාව පවතින බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මෙහිදී අමාත්‍යවරයා මෙසේද පැවසීය.
ජයගමු ශ්‍රී ලංකා කියන්නේ ජංගම සේවයක් නෙමෙයි, ප්‍රතිපදාවක්. කාලෙන් කාලෙට වෙනස් වෙන බලලෝභී ප්‍රතිපත්ති වෙනුවට රට ගොඩනගන ජනතාව දෙපයින් නගා සිටුවන දැවැන්තම ප්‍රතිපදාවයි මේ. ඒකේ දෙවැනි ජනගත කිරීමයි අපි අද මේ මොනරාගල දිස්ත්‍රික්කයේදී පවත්වන්නේ.
ප්‍රතිපත්තිවලට ඡන්දේ දීලාතමයි අපේ රට මේ තියෙන තත්වයට පත්වුනේ. හැබැයි මට හැමදාම තිබුණ ප්‍රතිපදාව තමයි, රටට ජයග්‍රහණය ගෙන එන අවස්ථා නියෝජනය කිරීම. ජනතාවට ජයග්‍රහණය ගෙන එන අවස්ථාවක් වෙනුවෙන් තමයි මම පෙනී සිටියේ. මම අද පෙනී ඉන්නේත් මේ රටේ අනාගතය ජයගන්න පුලවන් නායකත්වය වෙනුවෙන්.
ප්‍රතිපත්ති වෙනස් වෙනවා කියන එකට හොදම උදාහරණයක් තමයි මේ දවස්වල රටේම ඉන්න සෙනග බස්වලින් ඇද ඇද රැල්ලක් හදන්න යන රතු සහෝදරවරු. ඒ අයගේ ඉන්දියාව සම්බන්ධව තිබුණු ප්‍රතිපත්තියට වුනේ මොකක්ද කියලා තමුන්නාන්සෙලා දැක්කනේ. ඒ සහෝදරවරුන්ගේ පංති පහේ එකක් තමයි ඉන්දියානු ව්‍යාප්තවාදය. ඉන්දියානු ව්‍යාප්තවාදය කියලා පංතියක් හදලා අන්ධ කරලා රටේ රන් සමනල්ලු දස දහස් ගණනක් වලාකුලු වලට නග්ගපු අමුවෙන් කිව්වොත් මරලා දාන්න කටයුතු කරපු ප්‍රතිපත්තිය ඒ අය වෙනස් කරගත්තා. ඒක හොදයි. හැබැයි අර අන්ධ කරලා නැති කරපු ජීවිත වලට ආයේ පන දෙන්න බැහැ.
ඒත් අද ඒ ප්‍රතිපත්ති වෙනස් කරලා තියෙනවා. ඒත් නැති වුන ජීවිත යලිත් ගන්න අපිට අවස්ථාවක් නැහැ. දැන් ඒ සහෝදරයා වැරදිලා හරි ඉන්දියාවේ නොගියනං අර ඉන්දියන් යූ පී අයි මුදල් ගණුදෙනු සිස්ටම් එක ජනාධිපතිතුමා මැදිහත් වෙලා ඇති කරද්දී රනිල් ඉන්දියාවට රට විකුණන්න යනවා කියලා තමයි කියන්නේ. ඉන්දියාවේ ගියපු නිසා මීක් නෑ. මතක ඇතිනේ කලිං වතාවල් වල කියපු කතා. ගිලන්රථ සේවය ගේනකොට කියපු කතා, අමූල් එකට කියපු අමූලික කතා. ලස්සනම දැන් ඒවට උත්තර දෙන්න කියන අමූලික කතා. දැන් ටෙන්ඩර් දාලා දෙනවා නම් කමක් නෑ කියලා කියනවා. අපි ස්තූතිවන්ත වෙනවා ඉන්දියාවට ගිහින් හරි ප්‍රතිපත්ති වෙනස් කරගත්ත එකට.
ඔබට මතක ඇති මීට අවුරුදු දෙකකට කලින් තිබුණ තත්වය. මේ රට ආර්ථික බංකොලොත්භාවයට පත්වුන මුල් අවස්ථාවේදී තිබුණ තත්වය. ඒ වෙලාවේ ඔය හොදයි කියලා කියන ප්‍රතිපත්ති තියෙන හැමෝම මේ රට භාරගන්න බෑ කියලා කිව්වා.
අද තියෙන තත්වයට හරි මේ රට ඇවිත් තියෙන එක ආශ්චර්යයක්. මේ රට මේ තත්වයට හරි අරගෙන එන්න පුලුවන් තත්වයක නෙමෙයි තිබුණේ. වර්තමාන ජනාධිපතිතුමා රට භාරගත්තේ ඒ වගේ වෙලාවක. එතුමා ප්‍රතිපත්තියක හිටියා නම් මම මෙහෙමයි කළේ, මම මෙහෙමයි රාජ්‍ය සේවකයින්ගේ පඩි වැඩි කළේ, ඒ අය මට ඡන්දය දුන්නේ නෑ, මම ගම්පෙරලියට මෙච්චර මුදලක් වෙන් කළත් මට ඡන්දය දුන්නේ නෑ, 1990 ගිලන්රථ සේවය රට පුරාම ක්‍රියාත්මක කළත් මට ඡන්දය දුන්නේ නෑ, 2002 දී ආර්ථිකය හදාගෙන එන විට පරිවාස ගහලා ඒක කඩා කප්පල් කළා, ටැබ් දෙන කොට වද කරන්නේ කියලා කිව්වා, මේ රටේ ජනතාවට මම මෙච්චර දේවල් කරලත් ඒ ජනතාව මට සැලසුවේ නෑ කියලා ප්‍රතිපත්තියක හිටියනම් රටට එහෙනම් කොයි වගේ තත්ත්වයක ඉදීද. මම මේ රටේ අය වෙනුවෙන් මුකුත් කරන්නේ නෑ කියලා වගේ ප්‍රතිප්තියක හිටියා නම්, මේ වෙලාවේ රට භාරගන්න බෑ කියලා කිව්වා නම් අද මේ රටට මොකක් වෙලා තියේවිද?
හැමෝම පහුගිය කාලවල කිව්වේ මේ තියෙන්නේ රට බේරාගන්න තියෙන අන්තිම අවස්ථාව කියලයි. ඒත් දැන් උදාවෙලා තියෙන්නේ ජනතාව බේරාගන්න තියෙන අන්තිම අවස්ථාව. අන්න ඒ නිසයි මේ තිත්ත ඇත්ත තමුන්නාන්සෙලට කියන්න මං තීරණය කලේ. ඒකට ආයෙත් පක්ෂ දේශපාලන අවශ්‍ය වෙන්නේ නැහැ.
