දේවගැති ජෙරම් ප්‍රනාන්දු සතුව දේශීය හා විදේශීය වශයෙන් රුපියල් කෝටි එක් දහස් දෙසීයකට අධික මුදල් ප්‍රමාණයක් තිබිම සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සිදුකරන විමර්ශනවල ප්‍රගතිය ඉදිරි නඩු දිනයේදී ( මැයි 13 ) වැනිදා තම අධිකරණයට වාර්තා කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට නියෝග කර ඇත
ඒසෙම ප්‍රසිද්ධ දේශනයක දී බොදු දහම ඇතුළු අන්‍ය ආගම්වලට අපහාස වන ආකාරයෙන් සිදුකර ඇතැයි කියන ප්‍රකාශ පිළිබඳවද එම දේවගැතිවරයා විසින් සිදුකර ඇති එකී අපහාසාත්මක ප්‍රකාශ සම්බන්ධයෙන් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ චෝදනා ගොනුකර නඩු පැවරීමට ද නීතිපතිවරයාට නියෝගයක් කරන්නැයි ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම කැඳවූ අවස්ථාවේදී අගවිනිසුරු ජයන්ත ජයසූරිය, මුර්දු ප්‍රනාන්දු හා ගාමිණි අමරසේකර යන විනිසුරු මඬුල්ල එම නියෝගය කළේය.
ඇල්ලේ ගුණවංශ හිමි, බෙංගමුවේ නාලක හිමි, අගුලුගල්ලේ ශ්‍රී ජිනානන්ද හිමි, නිශාන් කුරේ පියතුමා, ආචාර්ය සිවසයි රාමචන්ද්‍ර කුරුක්කල්තුමා, හජ්ජියාර් සියාද් හෂාන් මවුලවිතුමා විසින් එම පෙත්සම ගොනුකර තිබිණි.
වග උත්තරකාර දේවගැතිවරයාගේ හා ඔහුගේ බිරිඳගේ ගිණුම් හරහා ගෙවුණු කාලය තුළ දී රුපියල් බිලියන 12කට අධික මුදලක් සංසරණය වී ඇති බව නීතිපතිවරයා අධිකරණයට වාර්තා කොට ඇතත් ඒ සම්බන්ධයෙන් නිසි නීතිමය පියවර නොගැනීම කනගාටුවට කරුණක් බව පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා විනිසුරු මඬුල්ලට පැවැසීය.
වගඋත්තරකාර එම දේවගැතිවරයාට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන සභිකය විසින් මේ වනවිටත් ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා ඇතැයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට පවසා සිටියා
