වෙරළ තීරයන්හි අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා භාවිතයට ගත හැකි ජංගම යෙදුමක් හඳුන්වාදීම පිළිබඳ සාකච්ඡාවක් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15)ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විය .

වෙරළ හා සාගර පරිසරයේ තිරසර සංවර්ධනය සඳහා මැදිහත් වන ආයතන හා සංවිධාන විධිමත්ව සම්බන්ධීකරණය කරමින් වෙරළ සංරක්ෂණ ආරක්ෂණ අධිකාරියේ මැදිහත්වීමෙන් මෙම ජංගම යෙදුම හඳුන්වා දීමට නියමිතය.

සාගර සහ වෙරළ තීරයේ පවිත්‍රතාව රැක ගනිමින් තිරසර සාගර සහ වෙරළ කලාපයක් සහතික කිරීමට ඒ පිළිබඳ වගකීම් පැවරී ඇති සියලු ආයතන කැපවිය යුතු බව මෙහිදී පෙන්වා දුන් සාගල රත්නායක මහතා එම කටයුතු පහසුකර ගැනීමට මෙම නව ජංගම යෙදුම පිටිවහලක් වනු ඇති බව සඳහන් කළේය.

එමෙන්ම වෙරළ පවිත්‍රතා වැඩසටහන් මෙන්ම වෙරළ පවිත්‍රතාව රැක ගැනීම පිළිබඳව දැනට ක්‍රියාත්මක කෙරෙන අධ්‍යාපන සහ දැනුවත් කිරීමේ වැඩසටහන් පුළුල් කිරිමේ අවශ්‍යතාව ද පෙන්වා දුන් සාගල රත්නායක මහතා වෙරළාශ්‍රිත කලාපයන්හි සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙළට එය මනා දායකත්වයක් වනු ඇති බවද පැවසීය.

ගංගා, ඇල දොළ මාර්ගයෙන් ගලා එන අපද්‍රව්‍ය හා දිගු මුදාහැරීමේ නළ මාර්ග ඔස්සේ මල අපද්‍රව්‍ය හා ඉවතලන ජලය මුදාහැරීම මෙන්ම ධීවර වරායන් ආශ්‍රිතව ඉවතලන අපද්‍රව්‍ය හා වෙනත් සාගර ක්‍රියාකාරකම් මගින් වෙරළ හා සාගර සම්පත් දැඩි ලෙස අපවිත්‍ර වන බව මෙහිදී වෙරළ සංරක්ෂණ ආරක්ෂණ අධිකාරිය විසින් පෙන්වා දුන් අතර විවිධ රාජ්‍ය හා පෞද්ගලික ආයතන මෙන්ම රාජ්‍ය නොවන සංවිධානවල මැදිහත්වීමෙන් එම පවිත්‍රතා කටයුතු සිදු කෙරෙන බවත්, එම කටයුතු මනා ලෙස සම්බන්ධීකරණය කිරීම වෙනුවෙන් මෙම ජංගම යෙදුම භාවිතයට ගැනීමට අපේක්ෂා කරන බවත් සඳහන් කළේය.

පරිසර අමාත්‍යාංශයේ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් ඩබ්.එස්. සත්‍යානන්ද යන මහත්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීහු ද, නාවික හමුදාපති, පොලිස්පති අතුලු ආරක්ෂක අංශ ප්‍රධානිහු සහ රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයින් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page