ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු රජය විසින් ලබාදුන් පොරොන්දුවලින් අති බහුතරයක් මේ වන විටත් ඉටුකර අවසන් බව පළාත් සභා, පළාත් පාලන සහ පරිසර රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසයි.

ඉදිකරමින් පවතින පාලම් 162ක වැඩකටයුතු අවසන් කර එළඹෙන අගෝස්තු මාසයට පෙර ජනතා අයිතියට පැවරීමට කටයුතු කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

පළාත් සභා, පළාත් පාලන සහ පරිසර රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (18) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ ද පැවසීය,

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු රජය විසින් ලබාදුන් පොරොන්දුවලින් අති බහුතරයක් මේ වන විටත් ඉටු කිරීමට අප සමත් වී සිටිනවා. මිලියන 16,000කට වැඩි ප්‍රමාණයක් වැයකර පාලම් 162ක් සදා නිමකරන බව අප විසින් පැවසුවා. එම පාලම්වලින් කොටසක් එළඹෙන අප්‍රේල් 10 වනදාට පෙර ජනතා අයිතියට පත් කිරීමට අප සූදානම්ව සිටිනවා. ඒ අනුව පාලම් 162ම ලබන අගෝස්තු මාසයට පෙර ජනතා අයිතියට පැවරීමට කටයුතු කරනවා.

එමෙන්ම සංචාරක ආකර්ශනය සහිත ස්ථාන දියුණු කිරීම සඳහා පාළාත් පාලන ආයතනවලට ලබාදුන් රුපියල් මිලියන 1000 ව්‍යාපෘතිය ද අගෝස්තු මාසය අවසන් වීමට පෙර අවසන් කිරීමට කටයුතු කරනවා.

ඒ වගේම බහුකාර්ය සංවර්ධන නිලධාරීන් 29,000න් වැඩි ප්‍රමාණයක් ස්ථිර කර තිබෙනවා. තවත් නිලධාරීන් 2600ක ප්‍රමාණයක් ඉතිරිව සිටිනවා. පවතින පුරප්පාඩු සහිත ස්ථාන වෙනුවෙන් අයදුම් කරන ලෙස ද අප ඔවුන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. මෙම වසර තුළ විශ්‍රාම යන අය වෙනුවට PL 1-2 යන කොටස් සඳහා අතිරික්ත සේවකයන් බඳවා ගැනීම සඳහා අප අවසර ලබාදී තිබෙනවා.

තවද සියලුම අමාත්‍යාංශ යටතේ සිදු කරන සංවර්ධන කටයුතු ඉතාමත් කඩිනමින් අවසන් කිරීමට අප බලපොරොත්තු වනවා. පැවති අර්බුදකාරී තත්ත්වයෙන් රට ගොඩ එමින් තිබෙනවා. සෑම අංශයක් හරහාම ඒ බව පෙන්නුම් කරනවා. ඇතැම් පිරිස් රට යළි පැවති තත්ත්වයට ඇදදැමීමට කටයතු කරමින් සිටිනවා. එලෙස ක්‍රියාකරන කඩාකප්පල්කාරී පිරිස් සඳහා තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කිරීමට අප කටයුතු කරනවා.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page