ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුවම අප බෞද්ධාගමට ප්‍රමුඛත්වය ලබාදිය යුතු බවත්, එම මූලධර්මය ආරක්ෂා කිරීමේ වගකීම විධායකයට, ව්‍යවස්ථාදායකයට මෙන්ම අධිකරණයට ද පැවරෙන බවත් අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ පිළිබඳ කිසිවෙකුට විවාද කළ නොහැකි බව ද සදහන් කරයි ..
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ හෝමාගම, කිරිවත්තුඩුවේ ඉදිකෙරුණු “ගුරුදෙව් සුව අරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානය” විවෘත කිරීමේ අවස්ථාවට අද (01) එක් වෙමින් ය..
විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යන අංශ තුනම මේ රටේ බෞද්ධ ධර්මයට ප්‍රමුඛස්ථානය ලබාදිය යුතු බව පිළිගැනීම අවශ්‍ය බව අවධාරණය කළ ජනාධිපතිවරයා ඊට සහයෝගය ලබා නොදී සිටීම ව්‍යවස්ථාව උල්ළංඝනය කිරීමක් බවත් ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරු බැඳී සිටින බවත් අවධාරණය කර සිටියා ..
එය වෙනස් කිරීමට කිසිවෙකුට අවශ්‍ය නම් වහාම ගොස් ව්‍යවස්ථාව වෙනස් කරන ලෙස තමා ඔවුන්ට දැනුම් දෙන බවත් ජනතා පරමාධිපත්‍ය, බෞද්ධාගමට ප්‍රමුඛස්ථානය දීම සහ භෞමික අඛණ්ඩතාව සුරැකීම මෙරට ව්‍යවස්ථාවේ සඳහන් ප්‍රධාන මූලධර්ම බව පෙන්වා දුන්නා..
එසේම මරණසන්නව සිටි රෝගියෙකු සුව කිරීමේ වගකීම තමාට පැවරුන බව මෙහිදී සඳහන් කළ ජනාධිපතිවරයා එම මරණාසන්න රෝගියා දැන් ක්‍රමයෙන් සුවය ලබමින් සිටින බවත් එම වැඩපිළිවෙළේදී මෙරට මහා සංඝරත්නයෙන් ලැබෙන මගපෙන්වීම සහ සහයෝගය වෙනුවෙන් පුණ්‍යානුමෝදනා පූර්වක ස්තූතිය පිරිනමන බවත් සඳහන් කලා.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා…
ශ්‍රී ලංකාවේ භික්ෂුන් වහන්සේ වෙනුවෙන් ඉදිකර තිබෙන පළමු රෝහල මෙයයි. අපේ රටේ රෝහල්වල භික්ෂු වාට්ටු පැවතුණා. නමුත් මෙය භික්ෂු වාට්ටුවක් නොවෙයි. රෝගාතුරුව වැඩවසන භික්ෂුන්වහන්සේ වෙනුවෙන් මෙම රෝහල වෙන් කර තිබෙනවා. මේ සඳහා සහයෝගය ලබාදුන් ආධාර උපකාර කළ දකුණු කොරියාවේ Neunghaeng භික්ෂුණින් වහන්සේ ප්‍රමුඛ සියලුදෙනාට රජයේ ස්තුතිය පිරිනමනවා.
මේ වැඩකටයුතු ඉදිරියට ගෙන යාමට දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ සහාය ඉල්ලා තිබෙන අතර එම සහාය ලබාදීමට කටයුතු කරන බවත් මෙම රෝහල දියුණු කරමින් ඉදිරියට ගෙන යාමට රජයේ ආධාර උපකාර ලබාදෙන බවත් මම ප්‍රකාශ කිරීමට කැමතියි.
ඒ වගේම ඉතා සුන්දර පරිසරයක මෙම රෝහල ඉදිකර තිබෙන අතර මෙම පරිසරයත් අප ආරක්ෂා කරගෙන ඉදිරියට යා යුතු බවද සිහිපත් කළයුතුයි.
ආණ්ඩුවයි, බුද්ධාගමයි වෙන් කිරීමට අවශ්‍යයි කියා දැන් එක් තර්කයක් ඉදිරිපත් වී තිබෙනවා. එහි නීතිමය තත්ත්වය පිළිබඳව සඳහන් කළහොත් අපේ රටේ සෑම පුරවැසියෙකුටම තමන් කැමති ආගමක් ඇදහීමට අයිතිය තිබෙනවා. ඒ වගේම ආගමක් අදහන්නේ නැතිව සිටීමටත් අයිතිය තිබෙනවා.
ඊට අමතරව අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා ඕනෑම රජයක් බෞද්ධාගමට ප්‍රමුඛත්වය ලබාදිය යුතුයි කියලා. එම වගකීම ආණ්ඩුවට පමණක් නොවෙයි රාජ්‍යයට පැවරෙනවා. එසේනම් රාජ්‍යයට අයත් අංශ තුන වන ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් වු විධායකය, කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් වූ පාර්ලිමේන්තුව සහ අගවිනිසුරුවරයාගේ ප්‍රධානත්වයෙන් වු අධිකරණය යන ආයතන තුනේම සහයෝගය මේ සඳහා හිමි විය යුතුයි.
මෙම සහයෝගය ලබා නොදී සිටීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි. මන්ත්‍රීවරු ලෙස අප සියලුදෙනා ව්‍යවස්ථාව අනුගමනය කිරීමට දිවුරුම් දී තිබෙනවා. එසේනම් අප සියලුදෙනා එම ව්‍යවස්ථාව අනුගමනය කළ යුතුයි. මේ රටේ යුද්ධය තිබුණත් කිසිවිටෙක මෙවැනි ඉල්ලීමක් ඉදිරිපත්ව තිබුණේ නැහැ. ඒ ගැන සාකච්ඡා කළේ ද නැහැ.
විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යන අංශ තුනම මේ රටේ බෞද්ධ ධර්මයට ප්‍රමුඛස්ථානයක් ලබාදිය යුතු බව පිළිගැනීම අවශ්‍යයි. ලබාදෙන ප්‍රතිපාදන පිළිබඳ අපට වාද විවාද කළ හැකියි. නමුත් මුලධර්මය ගැන අපට විවාද කරන්න බැහැ. ආණ්ඩුවක් ලෙස අප එය පිළිපැදිය යුතුයි. කිසිවෙකුට මෙය වෙනස් කිරීමට අවශ්‍යනම් ව්‍යවස්ථාව වෙනස් කළ යුතුයි.
ජනතා පරමාධිපත්‍ය, බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දීම සහ රට බෙදිය නොහැකි බව එනම් භෞමික අඛණ්ඩතාව අපේ ව්‍යවස්ථාවේ සඳහන් වන මූලික කරුණු තුනයි. අප මෙය පදනම් කරගෙන ඉදිරියට යා යුතුයි. මේ එකකට හෝ විරුද්ධව කථා කිරීම ව්‍යවස්ථාව උල්ළංඝනය කිරීමක් ලෙස සැලකෙනවා



