ජගත් ප්‍රියංකර මහතා නවවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ලෙස කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ අද (08) දිවුරුම් දුන්නේය.

කථානායකවරයා ඉදිරියේ දිවුරුම්දීමෙන් පසු ඒ මහතා පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ඉදිරියේදී මන්ත්‍රී නාමලේඛනයේ අත්සන් තැබීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පුත්තලම මැතිවරණ කොට්ඨාශයේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ ගරු සනත් නිශාන්ත මහතාගේ අභාවය හේතුවෙන් ඇති වූ පුරප්පාඩුවට ජගත් ප්‍රියංකර මහතා මෙලෙස පත් කරනු ලැබීය.

1979 වර්ෂයේ උපත ලැබූ ජගත් ප්‍රියංකර මහතා දික්වෙල රජයේ පාසලෙන් ප්‍රාථමික අධ්‍යාපනයත් ද්වීතික අධ්‍යාපනය වෙන්නප්පුව ජෝශප් වාස් මධ්‍ය මහා විද්‍යාලයෙන් නිම කර ඇත. ඒ මහතා කැළණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රවේදී උපාධිදාරියෙකු ද වේ.

2015 මහා මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සංධානය යටතේ තරග වදින ජගත් ප්‍රියංකර මහතා එහිදී මනාප 31424ක් ලබා ගනිමින් දිස්ත්‍රික්කයේ පස්වෙනි ස්ථානයට තේරී පත් විය. නැවත 2017 වර්ෂයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ පලාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වූ ඒ මහතා එහි සභිකයෙකු ලෙස තේරී පත් විය. 2020 මහා මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග කරමින් මනාප 40724ක් ලබා ගනිමින් දිස්ත්‍රික්කයේ හයවෙනි ස්ථානය ලබා ගන්නා ලදී.

වෘත්තීයෙන් සමෘද්ධි කළමනාකරුවෙකු වන ජගත් ප්‍රියංකර මහතා සමෘද්ධි ජාතික සංවිධාන මධ්‍යස්ථානයේ කැදවුම්කරු ලෙස කටයුතු කරයි. ජගත් ප්‍රියංකර මහතා දිනමිණ, ලංකාදීප හා මව්බ්ම පුවත්පත් වල මාධ්‍යවේදීයෙකු හා සමාජ හා දේශපාලන ක්‍රියාකාරිකයෙකු ලෙස කටයුතු කල නැසීගිය එල්.කේ සැම්සන් ජයන්ත මහතාගේ පුත්‍රයෙකි.

2007 වසරේ එම්.වී දේදුනු මහත්මිය සමග විවාහ දිවියට එළඹී ඇති ජගත් ප්‍රියංකර මහතා තිදරු පියෙකි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page