නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතාට සේවා දිගුවක් ලබාදීමට ජනාධිපතිවරයා විසින් සිදු කළ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (18) පස්වරුවේ නැවතත් සලකා බැලීමට නියමිතය.
නීතිපති රාජරත්නම් මහතාගේ සේවා කාලය ලබන 26 වැනිදායින් අවසන් වීමට නියමිත අතර ජනාධිපතිවරයා මෙම නිර්දේශය ඉදිරිපත් කර ඇත්තේ නීතිපතිවරයාට ලබන දෙසැම්බර් මස 31 වැනිදා තෙක් සේවා දීර්ඝයක් ලබාදීම සඳහා වේ.
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද සවස 2.00 ට රැස්වෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මේ පිළිබඳව කරුණු සලකා බැලීමට කටයුතු කරයි .
මීට පෙර අවස්ථා දෙකකදී රැස්වු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට, නීතිපතිවරයාගේ සේවා දීර්ඝයක් ලබාදීමට ජනාධිපතිවරයා කළ නිර්දේශය පිළිබඳව අවසන් තීරණයක් ගැනීමට හැකිවී නොතිබිණි .
මෙම නිර්දේශය සම්බන්ධයෙන් බොහෝ දුරට අද අවසාන තීරණයක් ගැනෙනු ඇතැයි පාර්ලිමේන්තුව ආරංචි මාර්ග සඳහන් කළේය.
මේ අතර ජනාධිපතිවරණය ළඟ එන අවස්ථාවක නීතිපතිවරයාට සේවා දිගුවක් ලබාදීමට ජනාධිපතිවරයා තීරණය කිරීම සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරු රැසක් පසුගියදා සිය විරෝධය ප්‍රසිද්ධියේ පළ කළහ.
