නියඟය, වර්ෂාව හා සේනා දළඹු හානිය ආශ්‍රිතව ගොවීන්ට සිදුව ඇති වගා හානි තක්සේරු කිරීම මේ වනවිට අවසන් අදියරට පැමිණ ඇතැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති ඩබ්. එම්. එම්. බී. වීරසේකර මහතා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දුන්නේය.

පසුගිය කාලයේ පැවති දැඩි නියඟය සහිත කාලගුණික තත්ත්වය නිසා දිස්ත්‍රික්ක කිහිපයක වී සහ අනෙකුත් බෝග සඳහා විශාල බලපෑමක් එල්ල වී තිබිණි. එම නිසා වගා හානි තක්සේරු කිරීමේ කටයුතු වහාම අරඹන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයට උපදෙස් දුන්නේය.
දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මාස එකහමාරකට පමණ ආසන්න කාලයක් මෙම වගා හානි තක්සේරු කිරීම සිදු කළ අතර, මේ වනවිට එම කටයුතු අවසන් අදියරට ළඟා වී තිබේ. දැනට වාර්තා වී තිබෙන වගා හානි ප්‍රමාණය අක්කර 65,000ක් පමණ වේ. එමඟින් ගොවීන් 67,000ක් පීඩාවට පත්ව ඇත.

කෙසේ වුවද, දැනට දිස්ත්‍රික්ක කිහිපයකට බලපා තිබෙන වර්ෂාව සහිත කාලගුණික තත්ත්වය නිසා නෙලා ගැනීමට ආසන්නව තිබූ වී අස්වනුවලට බලපෑමක් එල්ල වී ඇත.

මේ වනවිට නියඟය නිසා සිදු වූ වගා හානි තක්සේරු කිරීම අවසන් කර ඇති අතර, වර්ෂාව නිසා සිදු වූ වගා හානි සම්බන්ධව දැනට තක්සේරු කිරීම සිදු කෙරේ.

මෙම කටයුතු අවසන් වූ වහාම, සම්පූර්ණ වගා හානි තක්සේරු කිරීමේ වාර්තාව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට භාර දීමට පියවර ගන්නා බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපතිවරයා පැවසීය.

මේ අතර, වගා හානි වන්දි ගෙවීම සම්බන්ධව අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කිරීම සඳහා ඉදිරිපත් කර ඇතැයි ද කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේය.

මාධ්‍ය ඒකකය
කෘෂිකර්ම අමාත්‍යාංශය

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page