දේශීය කර්මාන්තකරුවන් අපනයන ක්ෂේත්‍රයට පිවිසීම දිරිමත් කිරීම සඳහා ගත යුතු පියවර පිළිබඳ සොයා බැලීමේ අරමුණින් මෙරට තේ හා රබර් නිෂ්පාදන සහ අපනයන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් සමඟ ජනාධිපතිවරයා අද (26) පස්වරුවේ සාකච්ඡාවක් පවත්වා තිබේ.
දේශීය කර්මාන්තකරුවන් ශක්තිමත් කර ඔවුන් අපනයන වෙළෙඳපොළට යොමු කිරීම මඟින් රටේ ඩොලර් ආදායම ඉහළ නැංවීම රජයේ ප්‍රධාන ඉලක්කයක් බව ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය. ආයෝජනය කිරීමට සහ ජාත්‍යන්තර වෙළෙඳපොළ ජය ගැනීමට සූදානම් ව්‍යාපාරිකයන්ට රජයේ උපරිම සහාය ලබාදෙන බවද ඔහු අවධාරණය කළේය.
නව ආයෝජන ප්‍රවර්ධනය කිරීම සහ පවතින නිෂ්පාදන ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සංවර්ධනය කිරීම සඳහා එක්වන ලෙස ජනාධිපතිවරයා ව්‍යාපාරිකයන්ගෙන් ඉල්ලා සිටියේය. තවද, තේ හා රබර් කර්මාන්ත නගා සිටුවීම සහ අපනයන ආදායම ඉහළ නැංවීම සඳහා 2026–2030 ජාතික අපනයන සංවර්ධන සැලැස්මට සමගාමීව නව උපායමාර්ගික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත්, ක්ෂේත්‍රයේ පවතින ගැටලු විසඳීමට කඩිනම් පියවර ගන්නා බවත් සඳහන් කළේය.
නිෂ්පාදන ධාරිතාව සහ නිවැරදි දත්ත පද්ධතියක වැදගත්කම ද පෙන්වා දුන් ජනාධිපතිවරයා, වාර්ෂික නිෂ්පාදන වර්ධනය පිළිබඳ නිවැරදි අවබෝධයක් තිබීම අත්‍යවශ්‍ය බව පැවසීය. නිෂ්පාදන ක්‍රියාවලිය වඩාත් සරල හා කාර්යක්ෂම කළ යුතු බවත්, කර්මාන්තකරුවන් මුහුණ දෙන ගැටලු හඳුනා ගැනීම සඳහා අවශ්‍ය සියලු දත්ත රජයට ලබාදෙන ලෙසත් ඉල්ලා සිටියේය.
එම දත්ත මත පදනම් වූ යෝජනා සහ සැලසුම් සකස් කර රජය සමඟ එක්ව කටයුතු කරන ලෙසද ජනාධිපතිවරයා ව්‍යාපාරිකයන්ට ආරාධනා කළේය.
