රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ දුර්වලතාවන් මග හරවා ගැනීමේ ප්‍රධාන සාධකය නිසි ඇගයීම් ක්‍රියාවලියක් පවත්වාගෙන යාම බවත් 2024 වසරේ ජනවාරි සිට රාජ්‍ය අංශය සඳහා එය හඳුන්වා දීමට රජය සූදානම් බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.
නිසි ඇගයීම් ක්‍රියාවලියකින් තොරව ව්‍යාපෘති ආරම්භ කිරීමට අවසන් කිරීමට රජය සූදානම් බවයි හෙතෙම පවසන්නේ. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ රටේ තිරසර සංවර්ධන ක්‍රියාවලිය සඳහා සාර්ථක ඇගයීම් ක්‍රියාවලියක් අත්‍යාවශ්‍ය බවයි. ජාතික ඇගයීම් සතියේ සමාරම්භක උත්සවයෙන් ප්‍රධාන දේශනය පවත්වමින් සේමසිංහ මහතා අද (03) මේ බව පැවැසීය.
ජනතාවගේ බදු මුදල් වගවීමෙන් සහ විනිවිධභාවයකින් යුතුව සංවර්ධන ක්‍රියාවලිය සඳහා යොදවා ගැනීම සඳහා ද මෙම ඇගයීම් ක්‍රියාවලිය හේතු වන බවයි අමාත්‍යවරයා එහි දී සඳහන් කළේ. මෙම ක්‍රියාවලිය එක් රැයකින් ශ්‍රී ලංකාව තුළ ස්ථාපනය කිරීමට නොහැකි බව පෙන්වා දුන් සේමසිංහ මහතා ඇගයීම් ක්‍රියාවලිය ප්‍රවර්ධනය කිරීමේ සංස්තෘකියක් රට තුළ නිර්මාණය කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළේ ය. එය වසර කිහිපයක් තුළ නිසි කැපවීමකින් සහ සාර්ථක ඇගයීම් ක්‍රියාවලියකින් අත්පත් කර ගත යුතු ජයග්‍රහණයක් බව සඳහන් කළ අමාත්‍යවරයා කියා සිටියේ එමගින් ප්‍රතිපත්ති සම්පාදකයන්ට ඇගයීම් සංකල්පය මෙරට සංවර්ධන ව්‍යාපෘති අතරට රැගෙන යාමට හැකි බවයි.
රට තුළ ක්‍රියාත්මක වන ඇගයීම් ක්‍රියාවලිය දේශීය වශයෙන් පමණක් නොව ජාත්‍යන්තර සංවිධානවල සහය තව දුරටත් ශ්‍රී ලංකාව වෙත ලබා ගැනීම සඳහා ද වැදගත් වන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය. ආධාර සපයන්නන්ට සේම ජාත්‍යන්තර සංවිධානවලට සිය දායකවත්ව ශ්‍රී ලංකාව වෙත දැක්වීමට පෙර සම්පත් උපරිම ලෙස භාවිත කිරීමට රට තුළ ඇති සූදානම පිළිබඳ මනා සාක්ෂියක් ලබා ගත හැකි බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ.
