ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රමුඛතම පා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග වසර 33කට පෙර පාකිස්තානයේ වකාර් යූනිස් පිහිටුවා තිබූ ලෝක වාර්තාවක් බිඳ හෙළමින් දක්ෂතා දක්වද්දී, වේග පන්දු යවන දුෂ්මන්ත චමීර ඉදිරි සුපර් සික්ස් තරග වටයේදී කණ්ඩායමට එක්වනු ඇතැයි ශ්‍රී ලංකා එක්දින නායක දසුන් ශානක විශ්වාසය පළ කළේය.
ලෝක එක්දින ක්‍රිකට් ඉතිහාසයේ පිට පිටම කඩුලු 5 බැගින් බිඳ හෙළු දෙවැනි පන්දු යවන්නා බවට පත්වෙමින් වනිඳු අයර්ලන්තයට එරෙහි තරගයේදී ලෝක වාර්තාව පිහිටුවිය. පෙරේදා ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අයර්ලන්තයට එරෙහි තරගයේදී ලකුණු 79කට කඩුලු 5ක් බිඳහෙළු වනිඳු ඕමානයට එරෙහිව ලකුණු 13කට කඩුලු 5ක් හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව ලකුණු 24කට කඩුලු 6ක් බිඳ හෙළීය.
වකාර් යුනිස් 1990දී නවසීලන්තයට සහ බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව කඩුලු 5 බැගින් දවා ගැනීම් 3ක් වාර්තා කොට තිබිණි. වකාර් නවසීලන්තයට එරෙහිව ලකුණු 11කට කඩුලු 5ක්, ලකුණු 16කට කඩුලු 5ක් හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ලකුණු 52කට කඩුලු 5ක් පිට පිට දවා ගත්තේය.
මේ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ සියලු දේ නිවැරදි දිශාවක ගමන් ගන්නා බව ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග වටයේදී අයර්ලන්තය පරාජයට පත් කිරීමෙන් අනතුරුව නායක දසුන් ශානක පැවැසීය. එහෙත් අවසන් පිතිකරුවන් ඉදිරි තරගවලදී ලකුණු අතරට පැමිණීම අනිවාර්යයෙන්ම සිදුවිය යුත්තක් බව දසුන් ශානක පෙන්වා දුන්නේය.
“අපේ අවසාන පිතිකරුවන් මෙයට වඩා හොඳින් පන්දුවට පහර දෙන්න අවශ්‍යයි. මගෙන් හා වනිඳුගෙන් අවසන් වරට නිමාවූ තරග දෙකේදීම ලොකු පහරවල් ආවේ නෑ. මගේ නැගි සිටීම අවශ්‍යයි. ඉදිරි තරගවලදී අප විකල්ප දෙස බැලිය යුතුයි. මෙතෙක් බංකුවේ සිටි ක්‍රීඩකයින් දෙස බැලීම වැදගත්. මොකද ඊළඟ වටයේ උපරිම ලකුණු ලබා ගැනීමට අවශ්‍ය වෙනවා. දුෂ්මන්ත චමීර මීළඟ වටයේදී ප්‍රධාන චරිතයක් වෙනවා. ඉදිරියේදී කුමන අභියෝග පැමිණියත් ඒවා ජයගන්න අපේ ක්‍රීඩකයින්ට ශක්තියක් තියෙනවා” යැයි දසුන් ශානක පැවැසීය. දසුන් ශානක පිතිකරුවෙකු ලෙස අවසන් තරග තුනේ ඉනිම් දෙකකදී වාර්තා කළේ ලකුණු 6ක් පමණි.
