ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්‍ෂා කරන බව පැවසිය හැක්කේ වගකිව යුතු සහ විවෘත රාජ්‍ය සේවයක් ලබා දිය හැකි නම් පමණක් බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සදහන් කර සිටි.

විවෘත සහ වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් කාර්යක්ෂම, සුහදශීලි විවෘත සහ වගකිවයුතු රාජ්‍ය සේවයක් යන තේමාව යටතේ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් අමතමින් කතානායකවරයා මේ බව පවසා සිටියා .

කාර්යක්ෂම, සුහදශීලි සහ වගකිවයුතු රාජ්‍ය සේවයක් ඇති කිරීමට ආයතන මට්ටමින් වැඩ පිළිවෙලක් සකස් කල යුතු බවත් පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක මහජන පෙත්සම් කාරක සභාව ඇතුළු කාරක සභා තුළදී නිලධාරීන් සමඟ සාකච්ඡා කොට එළැඹෙන තීන්දු තීරණ කාරක සභාවෙන් නික්ම ගිය පසු අදාළ නිලධාරීන් නිසි ලෙස ක්‍රියාවට නැංවීමට බොහෝ අවස්ථාවන්හි අපොහොසත් වන බවත් එය මගහැරීම පාර්ලිමේන්තුවේ වරප්‍රසාද උල්ලංඝණය වීමක් බවත් කතානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කර සිටියා

පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතාගේ සභාපතීත්වය යටතේ පවතින විවෘත සහ වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් ඊයේ (19) පාර්ලිමේන්තු සංකීර්ණයේ මෙම වැඩමුළුව සංවිධානය කර තිබුණි.

විවෘත සහ වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතා විසින් කාර්යක්ෂම, සුහදශීලි සහ වගකිවයුතු රාජ්‍ය සේවයක් ඇති කිරීමට ආයතන මට්ටමින් වැඩ පිළිවෙලක් සකස් කරන ලෙසට වැඩමුළුවට සහභාගී වූ රාජ්‍ය ආයතන ප්‍රධානීන් අමතමින් ඉල්ලීමක් කරන ලදී.

යුක්තිය ඉටු වන බවට ජනතාවට දැනෙන්නට සැලස්විය යුතු බවත්, නිතිය පොතට පමණක් සිමා වීමෙන් පලක් නොවන බවත්, නිතිය නිසි පරිදි ක්‍රියාත්මක විය යුතු බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය. කාර්යක්ෂම, සුහදශීලි සහ වගකිවයුතු රාජ්‍ය සේවයක් ඇති කිරීමට නම් සියලුම රාජ්‍ය අංශ ඒ සඳහා කැපවීමෙන් ක්‍රියාත්මක විය යුතු බවද ඒ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුයේ වර්තමායේ රට තුළ පවත්නා ආර්ථික අර්බුදයට ස්ථිරසාර විසඳුම් සොයමින්, රාජ්‍ය වියදම් අවම කරමින්, බලාපොරොත්තු වන්නා වූ සුහදශීලි, කාර්යක්‍ෂම සහ ජනතාවාදී සේවා සැපයීමට මෙම වැඩමුළුව සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට මහත් පිටිවහලක් වනු ඇති බවයි.

මෙම වැඩමුළුව සඳහා අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගරු ජනාධිපති නීතිඥ (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මහතා, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ආයතන අධ්‍යක්ෂ ජනරාල් චන්දන කුමාරසිංහ මහතා, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කොමසාරිස් (ඔම්බුඩ්ස්මන්) කේ.බී.කේ හිරිඹුරේගම මහතා සහ කොළඹ විශ්වවිද්‍යාලයීය ශ්‍රී පාලි මණ්ඩපයේ මණ්ඩපාධිපති මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා සහ හිටපු විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් කේ.ඒ. තිලකරත්න මහතා සම්පත් දායකත්වය සැපයු අතර, පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානි සහ නියෝජ්‍ය මහා ලේකම් චමින්ද කුලරත්න මහතා, අමාත්‍යංශ, සංස්ථා, මණ්ඩල, දෙපාර්තමේන්තු, පොලිසිය යන රාජ්‍ය ආයතන නියෝජනය කරමින් ඒවායේ ඉහළ නිලධාරී පිරිසක් මෙම වැඩමුළුවට සහභාගී විය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page