දේශපාලඥයන්⁣ගේ මැදිහත් වීමකින් තොරව රටේ සංවර්ධන කටයුතු ඉදිරියට පවත්වාගෙන යා හැකි බවට ඇතැම් පාර්ශ්ව තුළ තිබූ විශ්වාසය තව දුරටත් වලංගු නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ රටේ සංවර්ධන කටයුතු ජනතාවට වඩාත් ඵලදායි ලෙස ක්‍රියාවට නැංවීම සඳහා දේශපාලඥයා තුළ ඇති නායකත්වය අතිශය වැදගත් වන බවයි.

උතුරු දුම්රිය මාර්ගයේ මහව හන්දිය සිට අනුරාධපුර දක්වා නවීකරණ කටයුතු හේතුවෙන් මතුව ඇති ගැටලු සාකච්ඡා කර විසඳුම් ලබා දීම සඳහා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ බව සදහන් කර සිටියා

එහි දී දුම්රිය මාර්ගය පැවැති මට්ටමට වඩා අඩි දෙකක් පමණ නවීකරණයේ දී ඉහළ එසවීම හේතුවෙන් ජලය බැසයාම හා හරස් මාර්ග රථවාහන ගමනා ගමනයට අපහසු වන පරිදි අනවශ්‍ය ප්‍රමාණයට ඉහළට එසවී තිබීම යන කරුණු කෙරෙහි දැඩි අවධානයක් යොමු විය.

එහි දී අනාවරණ වූයේ රාජ්‍ය ආයතන අතර නිසි සම්බන්ධීකරණයක් නොමැති වීම හේතුවෙන් මෙම ගැටලු මතුව ඇති බවයි.

දුම්රිය මාර්ගය නවීකරණයට පෙර ඒ සම්බන්ධයෙන් ⁣වන අවශ්‍යතා විමසා දුම්රිය දෙපාර්තමේන්තුව අදාළ ආයතන වෙත ලිඛිත දැනුම් දීම් කර තිබුණ ද ඊට කිසිදු ප්‍රතිචාරයක් නොමැති වීම හේතුවෙන් සිය නවීකරණ කටයුතු ආරම්භ කර තිබේ.

මෙහි දී අමාත්‍යවරයා සඳහන් කළේ මීට පෙර සිදූ වූ ප්‍රමාදයක් පිළිබඳ එක් එක් පාර්ශ්වවලට චෝදනා නොකර මේ මොහොත් ජනතාව වෙනුවෙන් ඊට වඩාත් ම ප්‍රායෝගික විසඳුම ලබා දිය යුතු බවයි.

ඒ අනුව ඉදිරි සතිය තුළ අදාළ ඉල්ලීම් සහ ඊට ලබා දිය හැකි විසඳුම් මොනවා ද යන්න තාක්ෂණික කරුණු ඇතුළත් තොරතුරු දුම්රිය දෙපාර්තමේන්තුව වෙත ලබා දීමට මාර්ග සංවර්ධන අධිකාරිය, වාරි මාර්ග දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන එකඟතාව පළ කළේ ය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page