රුපියල් මිලියන 5,800ක හිඟ වැට් (VAT) බදු මුදල වහාම ගෙවා අවසන් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (26) ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගමේ අධ්‍යක්ෂවරුන්ට නියෝග කර තිබේ.
මෙම නඩුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂධ මිගාර මහාරච්චි මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී, විත්තිකරුවෙකු ලෙස නම් කර සිටින සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් අධිකරණය හමුවේ පෙනී සිටියේය.
එහිදී විත්තිකාර සමාගමේ අධ්‍යක්ෂවරුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේ, හිඟ බදු මුදලෙන් කොටසක් මේ වනවිට ගෙවා ඇති බවයි.
විත්තිකාර සමාගමේ දේපළ තහනමට ගෙන බැංකු වෙත පවරා ඇති බැවින්, බදු ගෙවීම් සනාථ කරන ලේඛන සොයා ගැනීමට නොහැකි වී ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.
දේශීය ආදායම් කොමසාරිස්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දිනේෂ් පෙරේරා මහතා අධිකරණයට දැනුම් දුන්නේ, බදු මුදල් ගෙවා ඇත්නම් ඒ බව සනාථ කරන ලේඛන ඉදිරිපත් කළ යුතු බවයි. ලේඛන සොයාගත නොහැකි බව ප්‍රකාශ කිරීම නිදහසට කරුණක් නොවන බවද ඔහු සඳහන් කළේය.
තවද, බදු ගෙවිය යුතු නියමිත කාලය ඉක්මවා ගොස් ඇති අතර විශාල බදු මුදලක් හිඟව පවතින බැවින් විත්තිකරුවන්ට තවදුරටත් සහන සැලසීමට හැකියාවක් නොමැති බවද නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා, විත්තිකාර සමාගම බදු ගෙවීමට නියමිත කාලය ඉක්මවා ඇති බව පෙන්වා දුන්නේය.
ඒ අනුව, හිඟ වැට් බදු මුදල වහාම ගෙවා අවසන් කරන ලෙස විත්තිකරුවන්ට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා, එම මුදල තවදුරටත් ප්‍රමාදයකින් තොරව ගෙවන්නේද නැද්ද යන්න පිළිබඳ ඉදිරි නඩු දිනයේදී ස්ථිර කරුණු ඉදිරිපත් කරන ලෙසද නියෝග කළේය.
මෙම නඩුව සැප්තැම්බර් 30 වැනිදා යළි කැඳවීමට අධිකරණය නියම කළේය.
