හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක ලෙස කටයුතු කළ චරිත් අබේසිංහ හා සිවිල් ගුවන්සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන අරුණ වරුණහැන්දිගේ යන තිදෙනා අද (03) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මගින් පසුගියදා අත්අඩංගුවට ගත් එම සැකකරුවන් තිදෙනා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි.

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක්කටා අත්අඩංගුවට පත්වීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් නියෝග මත රඳවා සිටි අවස්ථාවේ අදාළ සැකකරුවන් ඩුබායි රාජ්‍ය වෙත ගොස් ඇති බව අල්ලස් කොමිසම පැවසීයි

එකම ගුවන් යානයක ඔවුන් ඩුබායි රාජ්‍ය වෙත ගොස් එහිදී හරක් කටාගේ බිරිඳ වන මධුෂිකා මධුවන්ති හා සංවිධානාත්මක අපරාධකරුවකු වන මිදිගම රුවන් නැමැත්තා හමුවී ඇති බවද කොමිසම සඳහන් කරයි.

එහිදී හරක් කටා පොලිසිය විසින් ඝාතනය කිරීම වැළැක්වීම, රැඳවුම් නියෝග ඉවත්කිරීම, බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරය හැර වෙනත් බන්ධනාගාරයක් වෙත යොමුකිරීම හා විමර්ශන කටයුතුවලින් නිදහස් කිරීමට අවශ්‍ය කටයුතු සිදුකර දෙන බව පවසා රුපියල් කෝටි 50ක අල්ලස් මුදලක් ඉල්ලා ඇති බව අල්ලස් කොමිසම සිදුකළ විමර්ශනවලදී අනාවරණවී තිබේ.

අනතුරුව එය රුපියල් කෝටි 20ක් දක්වා අඩුකර අත්තිකාරම් වශයෙන් රුපියල් කෝටි 10ක මුදලක් පළමුව ලබාගෙන ඇති අතර, තවත් රුපියල් කෝටි 2ක මුදලක් පසුව ලබාගෙන ඇති බවද විමර්ශනවලදී අනාවරණ වූ බව අල්ලස් කොමිසම සඳහන් කරයි.

අදාළ මුදල උණ්ඩියල් ක්‍රමය හරහා මෙරටට ගෙන්වා ගෙන ඇති බවත් වාර්තාවී තිබේ.

රඛිත රාජපක්ෂ, චරිත් අබේසිංහ හා අරුණ වරුණහැන්දිගේ යළි එකම ගුවන් යානයකින් මෙරටට පැමිණ ඇති බවද විමර්ශනවලදී අනාවරණ වී ඇත.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page