ඉදිරි දශකය තුළ රටට විදේශ විනිමය උපයා දෙන ප්‍රමුඛ ක්ෂේත්‍රයක් බවට සංචාරක කර්මාන්තය පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි.
ශ්‍රී ලංකාව ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් බවට පත් කිරීමේ සැලැසුම් මේ වන විටත් සකස් කර තිබෙන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමෙන් ඒක පුද්ගල අදායම ඉහළ නංවා ගත හැකි බව ද පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ ඊයේ (06) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ඉන්දියානු සංචාරක සම්මේලනය අමතමිනි.
‘දේශසීමා ඉක්මවා යාම’ තේමාව යටතේ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ ආරාධනය මත ඉන්දියාවේ සංචාරක නියෝජිත සම්මේලනය විසින් සංවිධානය කර තිබූ අතර මෙම සමුළුව ජූලි මස 06 වන දා සිට 09 වන දා දක්වා කොළඹ දී පැවැත්වීමට නියමිත ය.
ශ්‍රී ලංකාව සංචාරය සඳහා සුරක්ෂිත සහ ආකර්ශණිය ගමනාන්තයක් බව ලොවට හඳුන්වාදෙමින් පැවැත්වෙන මෙම සම්මේලනයට ඉන්දියානු සංචාරක සම්මේලනයේ සාමාජිකයන් 500 දෙනෙක් පමණ එක් ව සිටින අතර, එය ආවරණය කිරීම සඳහා ඉන්දියානු මාධ්‍යවේදීන් විශාල පිරිසක් සහභාගි වී සිටීම ද විශේෂත්වයකි.
