ලංකා විදුලිබල මණ්ඩලීය තාක්ෂණික ඉංජිනේරු සහ අධිකාරී සංගමයේ වාර්ෂික සමුළුව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (13) පැවැත්විණ.
එම අවස්ථාවේ දී විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ අවශ්‍යතාවය සහ එය ක්‍රියාත්මක කරන සැලසුම පිළිබඳව අමාත්‍යවරයා කරුණු ඉදිරිපත් කර තිබේ.
එමෙන්ම අමාත්‍යවරයා දැනට සිදු කරන මානව සම්පත් විගණනය අවසන් වූ පසු NVQ පුහුණු නිලධාරීන් ස්ථිර කිරීමත්, උසස්වීම් ලැබීමට සුදුසු පිරිස් උසස්වීම්වලට පත් කිරීමත් සිදු කරන ආකාරය පැහැදිලි කරනු ලැබුවේය.
වර්තමානයේ සේවය කරන නිලධාරීන්ගේ සහ සේවයෙන් විශ්‍රාම ගොස් ඇති නිලධාරීන්ගේ සේවක අර්ථසාධක අරමුදල් සහ විශ්‍රාම වැටුප් ඒ ආකාරයෙන්ම ඉදිරියටත් ප්‍රතිව්‍යුහගත කිරීමෙන් අනතුරුව ද එම කටයුත්තට විශේෂ වූ ආයතනයක් මගින් ක්‍රියාත්මක කෙරෙනු ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
විදුලිය උත්පාදනය, සම්ප්‍රේෂණය සහ බෙදා හැරීම කාර්යක්ෂමව වෙන් වූ කොටස් වශයෙන් ඉදිරියේ දී ප්‍රතිව්‍යුහගත කිරීමට ලක් වන ආකාරය ඇතුළු සමාගම් බවට පරිවර්තනය වීම සහ සමාගම් වෙත නිළධාරීන් අනුයුක්ත කිරීම සහ අවම මිල ගණන් යටතේ විදුලිය නිෂ්පාදනය කිරීමේ බලාගාර ඇති කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳව ද මෙහි දී අදහස් දක්වනු ලැබුණි.
