යුරියා පොහොර මිටියක මිල ඊයේ (15) සිට රුපියල් 9000 දක්වා අඩු කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

එසේම මෙවර යල කන්නයේ දී ගොවීන්ට පොහොර මිල දී ගැනීම සඳහා රජය ලබාදෙන වවුචර්පත්වලින් සියයට 90කට වැඩි ප්‍රමාණයක් නිකුත් කර අවසන් කර ඇතිබව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.

පොහොර මිල දී ගැනීම සඳහා නිකුත් කර ඇති වවුචර්පත්, ගොවින්ගේ අවශ්‍යතාවයන්ට පහසුවන පරිදි ප්‍රමුඛත්වය ලබා දී නිකුත් කිරීමට ගොවිජන සේවා මධ්‍යස්ථානවලට උපදෙස් දී ඇති බව එම දෙපාර්තමේන්තුව කියා සිටී.
මෙම වවුචර්පත් හෙක්ටයාර් 01ක් සඳහා රුපියල් 20,000 හා හෙක්ටයාර් දෙකක් සදහා රුපියල් 40,000ක් වශයෙන් වගා කරන බිම් ප්‍රමාණය අනුව ලබා දී ඇත.


ගොවි ජනතාවට මෙම වවුචර්පත් යොදා ගැනීම මගින් යුරියා පොහොර, බන්ඩි පොහොර හෝ කාබනික පොහොර එහි වටිනාකම අනුව එක්වර ලබා ගත හැකි පරිදි ගොවිජන සේවා මධ්‍යස්ථාන මගින් පැකේජයක් වශයෙන් ද සකස් කර තිබේ.
එසේම අදාල වවුචරයේ දැක්වෙන වටිනාකම අනුව ගොවීන්ට තමන්ට අවශ්‍ය පොහොර මිල දී ගැනීමට වවුචරයේ වටිනාකම අනුව කොටස් කර වවුචර් දෙකක් හෝ තුනක් ද වශයෙන් ලබා ගත හැකිය.


එමගින් ගොවීන්ට එකම වවුචරයට එකම අවස්ථාවේ සියලුම පොහොර මිල දී ගැනීම සම්බන්ධව ගැටලුවක් ඇත්නම් එමගින් විසදුම් ලබා ගත හැකි බවත් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
මෙම සියලු ක්‍රියාමාර්ග මගින් ගොවි ජනතාවට පහසුව සැළසීමේ අරමුණින් ගනු ලැබු ක්‍රියාමාර්ග බව එම දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටී.


අද රාත්‍රියේ සිට තවත් යුරියා පොහොර තොග සියලුම දිස්ත්‍රික්ක වෙත යැවීමට ලංකා පොහොර සමාගම හා කොමර්ශල් පොහොර සමාගම කටයුතු යොදා ඇති බව එහි සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතා පවසයි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page