රාජකාරි කටයුත්තක් සඳහා පොල්හේන්ගොඩ යුද හමුදා පොලිස් කඳවුරේ සිට ගිරිතලේ කඳවුරට ගමන් කරමින් සිටි යුද හමුදා නිලධාරීන් පිරිසක් රැගත් වෑන් රථයක් නිට්ටඹුව පොලිස් වසමේ කොළඹ – නුවර මාර්ගයේ රදාවඩුන්න ප්‍රදේශයේදී ඉන්ධන ප්‍රවාහන බවුසරයක ගැටීමෙන් හමුදා නිලධාරීන් 05 දෙනකු බරපතළ තුවාල ලබා ඊයේ (20) අලුයම රෝහල්ගත කර ඇත.

තුවාලකරුවන් අතර මාණ්ඩලික සැරයන්වරයකු, සැරයන්වරයකු සහ කෝප්‍රල්වරු තිදෙනකු සිටින බව පොලිසිය කියයි.

තුවාල ලැබූ මෙම හමුදා නිලධාරීන් පස්දෙනා වතුපිටිවල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබේ.

මෙම අනතුර සිදුවන අවස්ථාවේදී වෑන් රථයේ මේජර්වරයකු ද ගමන් කරමින් සිට ඇත. ඔහුට මෙම අනතුරින් හානියක් සිදුව නැති බව පොලිසිය කියයි.

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ රදාවඩුන්න ප්‍රදේශයේ 45 වැනි කිලෝමීටර කණුව ආසන්නයේදී මෙම අනතුර සිදුව ඇති බව නිට්ටඹුව පොලිසිය සඳහන් කළේය.

ඉන්ධන බවුසරය ඉන්ධන පුරවා ගැනීමට කොළඹ බලා ධාවනය වෙමින් තිබී ඇත.

වෑන් රථය අනතුරට ලක්ව ඇත්තේ බවුසරය වැරදි දෙසින් පැමිණ වෑන් රථයේ මුහුණට මුහුණ ගැටීමෙන් බවත් බවුසරයේ රියැදුරුගේ වරදින් මෙම අනතුර සිදුව ඇති බවත් මෙම අනතුර සම්බන්ධයෙන් විමර්ශන පවත්වන නිට්ටඹුව පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීහු පවසති. ඒ අනුව බවුසරයේ රියැදුරු අත්අඩංගුවට ගත් බව නිට්ටඹුව පොලිසිය සඳහන් කළේය.

මේ අතර රදාවඩුන්න ප්‍රදේශයේදී මේජර්වරයකු වූ සිය සැමියා අනතුරට ලක්ව ඇතැයි සැලවූ මේජර්වරියක වූ බිරිය එම ස්ථානයට පැමිණෙමින් සිටියදී ඇය ගමන්ගත් වාහනය ද කොළඹ නුවර පාරේ නාපාගොඩ හන්දියේදී රිය අනතුරට ලක්ව ඇත.

ඇය ගමන් ගත් මෝටර් රිය යතුරුපැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි වාර්තා වේ. මේ අනතුරින් යතුරුපැදියට හෝ මෝටර් රථයට හානි වී නැති අතර කිසිවකුට තුවාල සිදුව නැතැයි ද වාර්තා වේ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page