බස්නාහිර සහ දකුණු පළාත්වල සිදු වන වෙඩි තැබීම් සහ මිනිස් ඝාතනවලට සම්බන්ධ අපරාධකරුවන්ට එරෙහිව වහාම දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා විසින් පොලිස් ප්‍රධානීන්ට පෙරේදා (21) නියෝග කර ඇත.

බස්නාහිර සහ දකුණු පළාත් ආශ්‍රිතව සිදු වන අපරාධ සම්බන්ධයෙන් සාකච්ඡාවකට පොලිස් ප්‍රධානීන් සිය අමාත්‍යාංශයට කැඳවා ඇමැතිවරයා මේ නියෝගය කර තිබේ. දකුණු පළාතේ හා බස්නාහිර පළාතේ මිනීමැරුම් හා අපරාධ වැඩි වීමට විශේෂයෙන්ම බලපා ඇත්තේ එම පළාත් දෙකෙහි සේවය කරන ඇතැම් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ හා පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ අකර්යක්ෂමතාව බව මෙහිදී පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා ඇමැතිවරයාට පෙන්වා දී ඇත. මේ තත්ත්වයට මුල බොරු මවාපෑම් කිරීමට එම නිලධාරීන් කටයුතු කිරීම බවද ඇමැතිවරයා ඉදිරියේ පොලිස්පතිවරයා පෙන්වා දී ඇත්තේ ඇතැම් නිලධාරීන්ගේ නම්ද පවසමින් බව ආරංචි මාර්ග සඳහන් කළේය. අතර එහිදී ඇමැති ටිරාන් අලස් මහතා පොලිස්පතිවරයාට පවසා ඇත්තේ එවැනි නිලධාරීන් වහා ඉවත් කර, සුදුසු නිලධාරීන් පත් කරන ලෙසයි.

මිනීමරුවන් සම්බන්ධයෙන් නීතිය තදින් ක්‍රියාත්මක කරන ලෙස එහිදී පොලිස්පතිවරයාට ඇමැතිවරයා නියෝග කර ඇත. එවැනි මෙහෙයුම්වලදී අනිසි බලපෑම් සිදු කිරීමට කිසිවකුට හෝ ඉඩ නොතබන බව අවධාරණය කර ඇත්තේ, ජනාධිපතිවරයාගෙන් ඒ සම්බන්ධයෙන් සහතිකයක් ලැබී ඇතැයි ද පවසමිනි.

බලපත්‍රයක් නැති හෝ බලපත්‍ර අලුත් නොකරන ලද ගිනි අවි පොලිසියට භාර ගැනීමට ජූලි 31 දක්වා පොදු සමා කාලයක් ප්‍රකාශ කරන ලෙසද මෙහිදී දැනුම්දී ඇති ඇමැතිවරයා, ගිනි අවි භාර දීමේ පොදු සමා කාලය අවසන් වීමත් සමඟ පොලිසිය අනෙකුත් බුද්ධි අංශ සමඟ නීති විරෝධි ගිනි අවි වැටලීම ආරම්භ කරන්නැයි පවසා තිබේ.

මේ සාකච්ඡාවට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක, පොලිස්පති ඩී.සී. වික්‍රමරත්න, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.සී. මැදවත්ත, විශේෂ කාර්ය බළකායේ අණ දෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර සහභාගි වී තිබිණි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page