2023 ජූනි 20, කොළඹ: ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ඉංජිනේරු අංශය වන ශ්‍රීලන්කන් ඉංජිනියරින් තවත් පුරෝගාමී පියවරක් තබමින්, සීබු පැසිෆික් එයාර් ගුවන් සේවයට අයත් Airbus A330 (Trent 700) යානයක් සඳහා පූර්ණ නඩත්තු පරීක්ෂාවක් සිදු කළේ ය. මෙය අග්නිදිග ආසියානු කලාපයේ ගුවන් සේවයන්ට අයත් වයිඩ්-බොඩි වර්ගයේ ගුවන් යානා සඳහා නඩත්තු, අලුත්වැඩියා සහ පූර්ණ අලුත්වැඩියා සේවාවන් සැපයීම සම්බන්ධ සුවිශේෂී සන්ධිස්ථානයකි. වයිඩ්-බොඩි වර්ගයේ ගුවන් යානා සඳහා පූර්ණ නඩත්තු කටයුතු සැපයීම වෙනුවෙන් මේ ආකාරයට ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ඉංජිනේරු අංශය සමඟ අත්වැල් බැඳගත් ප්‍රථම අග්නිදිග ආසියානු ගුවන් සේවය සීබු පැසිෆික් එයාර් ගුවන් සේවය වන අතර, අලුත්වැඩියාවන් සහ නඩත්තු කටයුතු සම්බන්ධයෙන් කෙටි කාලයක් තුළ විශාල ජාත්‍යන්තර ඉල්ලුමක් හා කීර්තියක් දිනාගැනීමට ශ්‍රීලන්කන් ඉංජිනියරින් සමත් වී ඇති බවට මෙය මනා සාක්ෂියකි.

ශ්‍රීලන්කන් ඉංජිනියරින් සමාගම සතුව පවතින, වයිඩ්-බොඩි වර්ගයේ ගුවන් යානා නඩත්තු කිරීම සඳහා European Aviation Safety Agency (EASA) අනුමැතිය හිමි ගුවන් යානා අංගණය තුළදී සීබු පැසිෆික් එයාර් ගුවන් සේවයට අයත් ගුවන් යානාව පරීක්ෂාවට ලක්කරන ලදි. 2023 මැයි මාසය තුළදී ශ්‍රීලන්කන් ඉංජිනියරින් සමාගම මෙම ගුවන් යානයට අමතරව සෙරීන් එයාර් ගුවන් සේවයට අයත් Airbus A330 (CF6) ගුවන් යානා දෙකක්ද පූර්ණ නඩත්තු පරීක්ෂාවන්ට ලක් කළේය.

ශ්‍රීලන්කන් ඉංජිනියරින් සමාගම බාහිර නඩත්තු සේවාවන් ආරම්භ කරන ලද්දේ මෑතකදී වුවද, තෙවන-පාර්ශ්වීය මූලික නඩත්තු සේවා සම්පාදකයෙකු වශයෙන් සමාගම දැනටමත් විශාල ජනප්‍රියත්වයක් හා සාර්ථකත්වයක් අත්කරගෙන තිබේ. කෙටි කාලයක් තුළ ඉහළ ගුණාත්මකභාවයකින් යුතුව නඩත්තු හා අලුත්වැඩියා සේවාවන් සැපයීම නිසා මේ වන විට දකුණු ආසියාව, මැදපෙරදිග, නැඟෙනහිර අප්‍රිකාව සහ අග්නිදිග ආසියාව යන කලාපවල ගුවන් සමාගම් කිහිපයක් දැනටමත් ශ්‍රීලන්කන් ඉංජිනියරින් සමාගමේ සේවාදායකයන් බවට පත් වී සිටිති.

මෙම වසර තුළදී පමණක් නව ගුවන් සේවාවන් කිහිපයක්ම ශ්‍රී ලංකාවේදී සහ මාලදිවයිනේදී ශ්‍රීලන්කන් ඉංජිනියරින් සමාගමේ සේවාවන් ලබාගැනීමට ඉදිරිපත් විය. එම සමාගම ලබාදෙන මූලික නඩත්තු සේවාවන් සඳහා පවතින ඉල්ලුමද මේ වන විට බෙහෙවින් ඉහළ ගොස් තිබේ. 2023 වසරේදී එයාර් සියාල් සහ සලාම් එයාර් යන සමාගම් උපාංග නඩත්තු සේවාවන් සඳහා ලියාපදිංචි වූ අතර, සීබු පැසිෆික් එයාර් සහ ජසීරා එයාර්වේස් යන සමාගම් බරපතළ නඩත්තු කටයුතු සඳහා ලියාපදිංචි විය. මේ ආකාරයට අලුත්වැඩියා, නඩත්තු සහ පූර්ණ නඩත්තු සේවාවන් සඳහා ඇති ඉල්ලුම ඉහළ යාමත් සමඟ ශ්‍රීලන්කන් ඉංජිනියරින් සමාගමේ ඇමරිකානු ඩොලර් ආදායමද පසුගිය වසර දෙකක කාලය තුළ 35% කින් වර්ධනය වී තිබේ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page