මෙරට රිළවුන් චීනයට අපනයනය නොකරන බවට වනජීවී දෙපාර්තමේන්තුව අභියාචනාධිකරණයට ප්‍රතිඥාවක් ඊයේ (26) ලබා දුන්නේය.

රිළවුන් ලක්ෂයක් චීනයට යැවීමට ගෙන ඇති තීරණයට එරෙහිව පරිසර සංවිධාන සහ පරිසරවේදීන් පිරිසක් විසින් ගොනු කර ඇති රිට් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී වනජීවී දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මනෝහර ජයසිංහ මහතා මෙම ප්‍රතිඥාව ලබා දුන්නේය.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ එම්. ඒ. ආර්. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවන ලදී.

එහිදී නීතිපතිවරයා සහ වනජීවී දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මනෝහර ජයසිංහ මහතා සඳහන් කළේ මීට පෙර යෝජනා කර තිබූ පරිදි චීනයට රිළවුන් අපනයනය කිරීමේ කටයුතු ඉදිරියට සිදු නොකරන බව වනජීවී දෙපාර්තමේන්තුව මඟින් තමන්ට දැනුම් දී තිබෙන බවය. ඒ අනුව රිලවුන් චීනයට අපනයනය නොකරන බව ඒ මහතා සඳහන් කළේය.

මෙහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා සඳහන් කළේ චීනයට පමණක් නොව වෙනත් කවර හෝ ස්ථානයකට රිළවුන් අපනයනය කිරීම නොකළ යුතු බවය.

අදාළ ප්‍රතිඥාව ලබාදීමෙන් පසු පෙත්සම ලබන ජූලි මස 6 වැනිදා නැවත සලකා බැලීම සඳහා කැඳවීමට අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල තීරණය කළේය.

ශ්‍රී ලංකා වන සත්ත්ව සහ පරිසර ආරක්ෂක සංගමය ඇතුළු පරිසර සංවිධාන කිහිපයක් සහ මාතර ආනන්ද සාගර හිමි, පරිසර විද්‍යාඥ රුක්ෂාන් අමල් ජයවර්ධන, පරිසරවේදී ඔටාරා ගුණවර්ධන ඇතුළු තිස්දෙනකු විසින් මෙම පෙත්සම ගොනු කර තිබිණි.

කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර, වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා, වන සංරක්ෂණ ජනරාල්වරයා, කැබිනට් මණ්ඩල ලේකම්, කැබිනට් මණ්ඩලය ඇතුළු 27 දෙනකු මෙහි වගඋත්තරකරුවෝ වෙති.

රිළවුන් අපනයනය කිරීම චීන රජය මඟින් කළ ඉල්ලීමක් අනුව සිදු නොවන අතර පරීක්ෂණ කටයුතු සඳහා චීන පෞද්ගලික සමාගමක් විසින් එම ඉල්ලීමක් කර ඇති බව පෙත්සමෙහි සඳහන් වේ.

මෙම ඉල්ලීම කළ පෞද්ගලික සමාගමට නීත්‍යනුකූල භාවයක් නැති බව ද පෙත්සම්කාර පාර්ශ්වය මඟින් පෙන්වා දී ඇත.

මෙලෙස රිළවුන් අපනයනය කිරීම සත්ත්ව හිංසා පනත, සත්ත්ව හිංසා වැළැක්වීමේ පනත සහ වන සත්ත්ව සහ වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත ඇතුළු පරිසර පනත් කිහිපයකට පටහැණි වන බැවින් එලෙස රිළවුන් අපනයනය කිරීමට ගෙන ඇති තීරණය සහ ඒ සම්බන්ධයෙන් කර ඇති නිර්දේශ බලරහිත කරන සර්ටියෝරාරි රිට් ආඥාවක් නිකුත් කරන්න පෙත්සම මඟින් ඉල්ලා ඇත. එසේම එලෙස රිළවුන් අපනයනය කිරීම සඳහා බලපත්‍ර ලබා දීමෙන් වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා හෝ වෙනත් බලධාරීන් වළක්වන රිට් ආඥාවක් නිකුත් කරන ලෙසද පෙත්සම මඟින් ඉල්ලා සිටී. ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටියේය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page