රාජ්‍ය සේවයේ නිරත විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවා කාලය අවුරුදු 63 වන තෙක් දීර්ඝ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇතැයි නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (27) දන්වා සිටියේය.
විශේෂඥ වෛද්‍යවරුන් වයස අවුරුදු 60 දී අනිවාර්ය විශ්‍රාම ගැන්වීමට කැබිනට් මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයට එරෙහිව වෛද්‍යවරු 176 දෙනකු ගොනු කළ රිට් පෙත්සම් කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා මේ බව දන්වා සිටියේය.
අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ එම්.ඒ.ආර්. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවන ලදි.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා සඳහන් කළේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවා කාලය අවුරුදු 63 තෙක් දීර්ඝ කිරීමට තීරණය කර ඇති බවට සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා විසින් තමන්ට දැනුම් දී ඇති බවය.
ඒ සම්බන්ධයෙන් වන කැබිනට් තීරණයක් ගැනීමට නියමිත බව ද ඒ මහතා සඳහන් කළේය. මෙම කරුණ මෝසමක් මගින් ලබන 30 වැනිදා වන විට අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා කටයුතු කරන බවද ඒ මහතා සඳහන් කළේය .
අතිරේක සොලිසිටර් ජනරාල්වරයා කළ මෙම දැනුම් දීම සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කරන බව පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා එහිදී සඳහන් කළේය. කෙසේ වුවද ජුනි 30ට පෙර වයස 60 සම්පූර්ණ වන විශේෂඥ වෛද්‍යවරු සිටින බැවින් මෙම පෙත්සම සම්බන්ධයෙන් කරුණු සලකා බැලීම කඩිනමින් කළ යුතු බවට ඒ මහතා සඳහන් කළේය.
පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ද මේ තීරණය සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කළේය. කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල පෙත්සම් සම්බන්ධයෙන් වැඩිදුර කරුණු සලකා බැලීම අද (28) සිදු කිරීමට තීරණය කළේය.
හෘද රෝග, ස්නායු රෝග ඇතුළු විවිධ වෛද්‍ය ක්ෂේත්රවල විශේෂඥ වෛද්‍යවරු පිරිසක් විසින් මෙම පෙත්සම ගොනු කර තිබුණි. රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් වරයා, කැබිනට් මණ්ඩලය ඇතුළු පිරිසක් මෙහි වගඋත්තර කරුවෝ වෙති. විශේෂඥ වෛද්‍යවරුන්ට සාමාන්‍යයෙන් වයස අවුරුදු 63 තෙක් සේවයෙහි නිරත විය හැකිව තිබූ බව පෙත්සමෙහි සඳහන් වේ. එම වයස් සීමාව අවුරුදු 60තෙක් අඩු කර ඔවුන් විශ්‍රාම ගැන්වීමට 2022-10-17 දින කැබිනට් මණ්ඩලය විසින් තීරණය කර ඇත. එම තීරණය නීති විරෝධී වන අතර, අවම වශයෙන් වයස අවුරුදු 63 දක්වා සේවයේ දිගටම රැඳී සිටීම සිය නීත්‍යනුකූල අපේක්ෂාව බවට මීට පෙර පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරු අධිකරණය හමුවේ පෙන්වා දුන්හ. එබැවින් එම තීරණය බල රහිත කරන ලෙස ඔවුහු ඉල්ලා සිටියහ.
එම කරණු සලකා බැලූ අධිකරණය රාජ්‍ය සේවකයින් වයස අවුරුදු 60 දී විශ්‍රාම ගැන්වීමට තීරණය කරමින් නිකුත් කළ ගැසට් නිවේදන තීරණය විශේෂඥ වෛද්‍යවරු හා වෛද්‍යවරුන් සඳහා පමණක් ක්‍රියාත්මක වීම අත්හිටුවමින් මීට පෙර අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.
