පානදුර කෙසෙල්වත්ත සරික්කමුල්ල ප්‍රදේශයේ වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන යමින් රෝගීන්ට ප්‍රතිකාර කළ ව්‍යාජ වෛද්‍යවරයෙකු පානදුර වලානේ පිහිටි මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ නිලධාරීන් විසින් ඊයේ (27) වටලා වෛද්‍යවරයා සහ රෝගීන්ට ඖෂධ නිකුත් කළ තරුණියක් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගත් ව්‍යාජ වෛද්‍යවරයා මොහොමඩ් සාමින් නැමැති 30 හැවිරිදි වියේ පසුවන අයෙකි. වෛද්‍ය මධ්‍යස්ථානයේ තිබී රුපියල් කෝටියකට අධික වටිනාකමක් ඇති විවිධ වර්ගයේ ඹෟෂධ රැසක් ද තිබී හමුවූ බව මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය සඳහන් කළේය. ඒ අතර කල් ඉකුත් වූ ඖෂධ මෙන්ම ගබ්සාවන් සඳහා භාවිත කරන ඖෂධ පවා තිබී ඇත. මෙම ඖෂධ රෝගීන්ට නිකුත්කර ඇතැයි මූලික විමර්ශනවලින් පෙනී යන බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

වෛද්‍යවරයෙක් ලෙස පෙනී සිටි මෙම පුද්ගලයාගේ මවගේ සහෝදරයා කෙසෙල්වත්ත පැත්තේ ප්‍රසිද්ධව සිටි වෛද්‍යවරයෙක් බවද විමර්ශනවලින් අනාවරණය වී ඇත. ඔහු කලකට පෙර මියගොස් ඇති බවත් මෙම වෛද්‍ය මධ්‍යස්ථානය පවත්වාගෙන ගොස් ඇත්තේ එම වෛද්‍යවරයාගේ නි‍ෙවසේම කොටසක බවත් මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය සඳහන් කරයි. මෙම සැකකරුගේ මාමා වන වෛද්‍යවරයා ද සිය වෛද්‍ය මධ්‍යස්ථානය පවත්වාගෙන ගොස් ඇත්තේ එම ස්ථානයේදීම බව විමර්ශනවලින් අනාවරණය වී තිබේ. එම වෛද්‍යවරයා ද සුදුසුකම් නොමැති වෛද්‍යවරයෙක් බවද විමර්ශනවලින් අනාවරණය වී ඇත.

මෙම සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ හැව්ලොක්ටවුන් හි පිහිටි ජාත්‍යන්තර පාසලකින් උසස් පෙළ හදාරා තමා චීනයේ විශ්වවිද්‍යාලයකින් වෛද්‍ය උපාධිය සම්පූර්ණ කළ අයෙක් බවය. මෙරට වෛද්‍ය සභාවේ ලියාපදිංචි වීම සඳහා අවස්ථා කිහිපයකදීම විභාගයට මුහුණ දුන්නද සමත්වීමට හැකියාවක් නොලැබුණු බවද ඔහු පැවසූ බව මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය සඳහන් කළේය. බොහෝ කලකට පෙර මිය ගිය ලියාපදිංචි වෛද්‍යවරයෙකුගේ අංකයක් සහිතව මෙම ව්‍යාජ වෛද්‍යවරයා සිය වෛද්‍ය මධ්‍යස්ථානය පවත්වාගෙන ගොස් තිබේ. මෙම වෛද්‍ය මධ්‍යස්ථානය ගැන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී උදය කුමාර මහතාට ලද තොරතුරකට අනුව එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතා විසින් දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ බුද්ධි අංශ නිලධාරීන්ව යොදා මේ ගැන කරුණු සොයා බලා තිබේ. එහිදී නිලධාරීන් කිහිප දෙනෙකුම වරින්වර මෙම වෛද්‍ය මධ්‍යස්ථානයට ගොස් විවිධ රෝග කියා ප්‍රතිකාර ද ලබාගෙන ඇත. අඹුසැමි යුවළක් ලෙසින් ද නිලධාරින් දෙදෙනෙක් මෙහි ගොස් ඇත.

එහිදී පෙනී ගොස් ඇත්තේ මෙම ව්‍යාජ වෛද්‍යවරයා විසින් රුපියල් 2000ක් වැනි මුදලක් ලබාගෙන වෛද්‍ය සහතික පවා නිකුත් කරන බවය. එසේම ඔහු විසින් රෝගීන්ගේ ලේ, මුත්‍රා පවා පරීක්ෂා කිරීමට රසායනාගාර සඳහා ලිපි පවා නිකුත් කරන බව පෙනී ගොස් ඇත.

මෙම තොරතුරු අනාවරණයකර ගැනීමෙන් අනතුරුව මේ ගැන පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ඊෂා සමන්කුමාරි මහත්මිය දැනුවත් කරමින් ඇගේ සහායද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සහායද කළුතර ආහාර හා ඹෟෂධ පරීක්ෂකවරුන්ගේ සහායද ඇතිව මෙම වෛද්‍ය මධ්‍යස්ථානය ඊයේ දහවල් වටලනු ලැබීය. ඒ වන විටත් විශාල රෝගීන් පිරිසක් ප්‍රතිකාර ලබාගැනීමට මෙහි පැමිණ සිට ඇත.

මෙහිදී ඖෂධ නිකුත් කිරීමට යොදවා සිටි නැතැත්තියගෙන් කළ ප්‍රශ්න කිරීමේදී ඇය පවසා ඇත්තේ තමා රෝහලක සේවය කළ හෙදියක් බවය. ඒ ගැන ඇතිවුණු සැකයක් මත ප්‍රශ්න කිරීමේදී ඇය පවසා ඇත්තේ තමා හෙදියක් නොව, ඔසුහලක සේවයේ නිරතව සිට ඇති බවය. ඖෂධවේදියෙක් ලෙස පවා සේවය කිරීමට බලපත්‍රයක් අවශ්‍ය බැවින් එම බලපත්‍රය ගැන ඇගෙන් කළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත්තේ ඇය කිසිදු පුහුණුවක් හෝ බලපත්‍රයක් නොමැති තැනැත්තියක් බවය. ඇය විසින් තුවාල සහිත රෝගීන්ගේ තුවාලවලට ද ප්‍රතිකාර කරන බවද විමර්ශනවලින් පෙනී ගොස් තිබේ.

මෙම ව්‍යාජ වෛද්‍යවරයා විසින් වසරක් තිස්සේ මෙසේ මෙම වෛද්‍ය මධ්‍යස්ථානයේ රැඳී සිටිමින් රෝගීන්ට ප්‍රතිකාර ලබාදී ඇති බවද අනාවරණය වී ඇත. මෙම ව්‍යාජ වෛද්‍යවරයාගේ මාමාට තිබූ ප්‍රසිද්ධිය හේතුවෙන් මෙම ස්ථානයට වැඩි වශයෙන් රෝගීන් පැමිණෙන බවත් මෙම ස්ථානය වැටලීමත් සමඟ එම ප්‍රදේශයේ ජනතාව විමතියට පත්ව ඇති බවක් දක්නට ලැබුණු බවත් මධ්‍යම දූෂණ මර්දන බළකාය සඳහන් කරයි.

මෙම සැකකරු දෙහිවල පදිංචිකරුවෙක් බවත් මෙහි ප්‍රතිකාර කටයුතු සඳහා දෙහිවල පිහිටි නිවසේ සිට පැමිණෙන බවත් විමර්ශනයේදී පෙනී ගොස් ඇත. වෛද්‍ය මධ්‍යස්ථානයේ පිහිටි නිවසේත් මෙම සැකකරු නවාතැන් ගෙන සිටින අවස්ථා ඇති බවද මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය සඳහන් කරයි.

මෙම ව්‍යාජ වෛද්‍යවරයා තමාව අධිකරණයට ඉදිරිපත් නොකර නිදහස් කිරීමට කටයුතු කරන්නේ නම් රුපියල් ලක්ෂ 10ක් 15ක් පමණ වූ මුදලක් ලබාදිය හැකි බවද වැටලීමට සම්බන්ධ වූ නිලධාරීන්ට පවසා ඇති බවද සඳහන්ය. එම මුදල් ප්‍රතික්ෂේප කරමින් වැටලීමට සම්බන්ධ වූ නිලධාරීන් නීතිය ක්‍රියාත්මක කර තිබේ.

පානදුර වලානේ පිහිටි මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී උදය කුමාර මහතාගේ උපදෙසින්, එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාගේ මෙහෙයවීමෙන් සහ නායකත්වයෙන් උප පොලිස් පරීක්ෂක සඳරුවන්, සැරයන් ජයලාල් (428) කොස්තාපල්වරුන් වන සංජීව (91287), ජයසේකර (93681), දේශප්‍රිය (100678), සේනාරත්න (104643), කරුණාරත්න (9003) යන නිලධාරීන් සහ කාන්තා කොස්තාපල් රිහාරි ද කළුතර ආහාර හා ඖෂධ පාලක පරීක්ෂකවරුන් වන බුද්ධික ගංගොඩතැන්න, බී.ආර්. රෝහණ, කේ.ඩබ්ලිව්. අශෝක යන නිලධාරීන් සහ පානදුර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු මෙම වැටලීමට සම්බන්ධ වී තිබේ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page