හරක්කටාට පලායෑමට අධිවේගී යතුරු පැදියක් එම මූලස්ථානයේ රථ ගාලේ සඟවා තබා ඇත්තේ මේ වනවිට අතුරුදන්ව ඇති පොලිස් කොස්තාපල්වරයා විසින් බව විමර්ශනවලින් හෙළිවී ඇත.

රුපියල් දසලක්‍ෂයකට අධික වටිනාකමෙන් යුත් මෙම නවීන පන්නයේ යතුරු පැදිය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති වරයාගේ සහ අධ්‍යක්‍ෂකවරයාගේ නිල රථ නතර කර තබන ස්ථානයට නුදුරින් නවතා තිබිය දී පෙරේදා සොයාගෙන තිබිණි.

හිමිකරුවකු නොමැති අති නවීන යතුරු පැදියක් සති කීපයක් තිස්සේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන්ගේ රථ ගාලේ නතර කර තිබිය දී ඒ පිළිබදව සොයා බලන ලෙස කොළඹ අපරාධ කොට්ඨාසය දැනුම් දී ඇත.

ඒ අනුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ විමර්ශනයක දී හෙළිවී ඇත්තේ මෙම යතුරු පැදිය හරක්කටාට එම දෙපාර්තමේන්තුවෙන් පලා යෑමට සූදානම් කර තිබූ එකක් බවයි.

යතුරු පැදියේ ඉන්ධන ටැංකිය පුරවා තිබු අතර ඊට ව්‍යාජ අංකයක් ද යොදා ඇත.

හරක්කටාගේ පලා යෑමේ උත්සාහයට සහාය වූ පොලිස් කොස්තාපල්වරයා විසින් මෙම යතුරු පැදිය හොර රහසේම අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානය වෙත ගෙනැවිත් සඟවා තබා ඇති බව අනාවරණය කර ගෙන ඇත.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සී සී ටී වී කැමරා පද්ධතිය කාලයක සිට අක්‍රියව තිබීම නිසා මෙම යතුරු පැදිය රැගෙන එන පුද්ගලයා හඳුනාගැනීමට නොහැකි බව පොලිසිය පවසයි.

එහෙත් මේ වනවිට සිදුකර ඇති විමර්ශනවලින් හෙළිවී ඇත්තේ යතුරු පැදිය හරක් කටා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් පලා යෑමට සැලසුම් කළ දිනට පෙර දින සැකකාර කොස්තාපල්වරයා විසින් එහි ගෙනැවිත් තබා ඇති බවයි.

හරක්කටා ට පලා යෑමට උපකාර කළ කොස්තාපල්වරයා පිළිබඳව මෙතෙක් කිසිදු තොරතුරක් හෙළිවී නැත.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page