කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ජැක්සන් ඇන්තනී මහතා අද (09) අලුයම අභවප්‍රාප්ත වී ඇත . .

රිය අනතුරකට ලක්ව මාස 14 ක් පමණ කාලයක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා අද අලුයම මිය ගිය බව පවුලේ ඥාතීන් සඳහන් කරයි.

1958 වසරේ ජූලි මස 08 වනදා රාගම දී උපත ලද ජැක්සන් ඇන්තනී මහතා මියයන විට 65 වන වියෙහි පසුවුණි.

වැඩසටහන් රූගත කිරීමක් සඳහා අනුරාධපුර ප්‍රදේශයට ගොස් යළි පැමිණෙමින් සිටියදී තලාව මාර්ගයේ මොරගොඩ ප්‍රදේශයේ දී ඔහු ගමන් ගත් කැබ් රථය වන අලියෙකුගේ ගැටීමෙන් අනතුරක් සිදුවුණි.

අනතුරින් බරපතළ තුවාල ලැබු ජැක්සන් ඇන්තනී මහතා වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරුණි.

රංගන ශිල්පියෙක්, ගේය පද රචකයෙක්, ගායකයෙක්, ලේඛකයෙක්, නිවේදකයෙක් මෙන්ම ඉතිහාස විශ්ලේෂකයෙකු ලෙස සිය ප්‍රතිභාපුර්ණ හැකියාව පෙන්නුම් කළ ඒ මහතා මෙරට සිටි විශිෂ්ට මාධ්‍යවේදීයෙකු ලෙස ද සැලකේ.

මෙරට ප්‍රෞඩ ඉතිහාසය ජාත්‍යන්තරයට රැගෙන ගිය ඒ මහතා රූපවාහිනි සහ ගුවන් විදුලි වැඩසටහන් නිෂ්පාදකයෙකු ලෙස ද සිය හැකියාවන් පෙන්නුම් කර තිබේ.

දෙස් විදෙස් සම්මාන ගණනකට හිමිකම් කියන ජැක්සන් ඇන්තනී මහතා සිය අත්දැකීම් අනාගත දරු පරපුර වෙනුවෙන් ලබාදීම වෙනුවෙන් ද අතිවිශාල කැප කිරීමක් ද සිදුකරනු ලැබීය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page