මාර්ගගත ක්‍රමවල ආරක්ෂාව නමින් ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ප්‍රකාශ කරන ලෙස ඉල්ලමින් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජිකයන් පස් දෙනෙකු, විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන පුරවැසියන් සිව්දෙනෙකු ද සමඟ අද (17) ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පෙත්සමක් ගොනු කළා.
තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති විදිහට මමත්, ලේකම් එම්.එෆ්.එම්. ෆසීර්, කැඳවුම්කරු ශාලික විමලසේන, භාණ්ඩාගාරික නිරෝෂ් මෛත්‍රී සහ උප සභාපති බී. නිරෝෂ්කුමාර් සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයකු සහ ඒ පිළිබඳ ජාත්‍යන්තර පුහුණුකරුවකු වන රුකී ප්‍රනාන්දු, මානව හිමිකම් පිළිබඳ නීතිඥ සහ ක්‍රියාකාරිකයකු වන සුරේන් ඩී. පෙරේරා, සමාජ මාධ්‍ය බලපෑම්කරුවකු සහ නීති ශිෂ්‍යයකු වන අනුරුද්ධ බණ්ඩාර, නීති උපාධිධාරිනියක වන ඩිෂාරා ප්‍රනාන්දු යන පිරිස SC/SD/120/23 අංක දරන මෙම පෙත්සමේ පෙත්සම්කරුවො වෙනවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සුරක්ෂිත කර ඇති භාෂණයේ සහ ප්‍රකාශනයේ අයිතිය, වධහිංසාවලින් සහ මානසික පීඩාවලින් ආරක්ෂා වීමට ඇති අයිතිය, වෙනස් කොට සැලකීමෙන් ආරක්ෂා වීමේ අයිතිය ඇතුළු මූලික අයිතිවාසිකම් රැසක් මෙම පනත් කෙටුම්පතින් උල්ලංඝනය වන බවත්, කෙටුම්පතේ වගන්ති රැසක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් අපේ පෙත්සමේ සඳහන් වෙනවා. ජනාධිපතිවරයා විසින් පත්කරන කොමිසමකට අධිකරණ බලතල ලබාදීම මගින් ද පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බව අපේ පෙත්සමේ සඳහන් වෙනවා.
එම නිසා මෙම කෙටුම්පත නීතියක් බවට පත්කර ගැනීමට නම් පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයක් සමඟ ජනමත විචාරණයක් ද අවශ්‍ය වන බවට තීන්දුවක් ලබා දෙන්න කියලා අපි ඉල්ලලා තියනවා.
අපේ පත්සම ඉදිරිපත් කළේ තිෂ්‍ය වේරගොඩ, තමිලා දිනූෂි පෙරේරා, යසාංග සේනාධීර, ස්ටෙෆනියා පෙරේරා සහ සුබාංගි විමලනාදන් කියන නීතිඥවරුන් මාර්ගයෙනුයි. ඒ සඳහා මහන්සි වෙච්ච මෙම නීතිඥවරුන්ට බොහොම ස්තුතියි.
පසුගිය 03දා පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කරන ලද මෙම පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පෙත්සම් ගොනුකිරීමේ දින 14ක කාලය අද අවසන් වුණා. දැන ගන්න තියන විදිහට මේ කෙටුම්පතට එරෙහිව පෙත්සම් 50ක් පමණ ඉදිරිපත් වෙලා තියනවා.
වසර දෙකක කාලයක් තුල අපි (මම, තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය) අධිකරණයට ගිය හතර වැනි අවස්ථාව මේක. පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පත, පුණරුත්තාපන කාර්යංශ පනත් කෙටුම්පත සහ අධිකරණයට අපහාස කිරීම පිළිබඳ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවලදී මීට කළින් ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න වුණා.
අලුත්ම පනත් කෙටුම්පත අකුලා ගන්නා තුරු අවශ්‍ය බලපෑම් කරන ලෙස සියලුම පුරවැසියන්ගෙන් ඉල්ලනවා…
