අඩු ආදායම්ලාභීන්, කෘතහස්ත කලාකරුවන් හා මාධ්‍යවේදීන් වෙනුවෙන් නිවාස 1,996ක් ඉදිකිරීමේ ගිවිසුමට ශ්‍රී ලංකා රජය හා චීන රජය අත්සන් තැබිම ඊයේ (27) බත්තරමුල්ල, නාගරික සංවර්ධන අධිකාරියේ ශ්‍රවණාගාරයේදී සිදු කෙරිණි.
ශ්‍රී ලංකා රජය වෙනුවෙන් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අදාල ගිවිසුමට අත්සන් තැබූ අතර චීන රජය වෙනුවෙන් ඊට අත්සන් තැබුවේ ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොන් මහතායි.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේ ලබන මාර්තු මාසයේදී මෙම නිවාස ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවයි.
ඒ අනුව පෑලියගොඩ දුටුගැමුණු පාර නිවාස 615 ක්, දෙමටගොඩ එළුමඩුව වත්ත නිවාස 586 ක්, මොරටුව බැටරි වත්තේ නිවාස 575 ක්, මහරගම අඹවත්ත නිවාස 112 ක් සහ කොට්ටාව පළතුරුවත්ත නිවාස 108ක් වශයෙන් ඉදි කෙරේ. කලාකරුවන් සහ මාධ්‍යවේදීන් සදහා වෙන් කරන්නේ කොට්ටාව පළතුරුවත්ත නිවාස 108යි.
වසර තුනක් තුළ ඉදි කෙරෙන මෙම නිවාස 1,996 න් නිවාස 1,888 ක් කොළඹ ජීවත්වන අඩු ආදායම්ලාභීන්ටත්, නිවාස 108ක් මෙරට කෘතහස්ත කලාකරුවන් හා මාධ්‍යවේදීන් සඳහාත් වෙන්කෙරේ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා …
චීන රජය විසින් මෙම ව්‍යාපෘතිය සඳහා යුවාන් මිලියන 552ක මූල්‍යාධාරයක් ලබා දි තිබෙනවා . එය ආසන්න වශයෙන් ශ්‍රී ලංකා මුදලින් රුපියල් බිලියන 24.48කි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ රජය වෙනුවෙන් චීන ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයටත් එරට ජනතාවටත් ස්තූතිය පළ කරනවා. චීනය හා ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පුළුල් කිරීමට මෙම ව්‍යාපෘති ඉවහල් වෙනවා . චීනය හැමවිටම ශ්‍රී ලංකාවේ මිතුරෙක් . ශ්‍රී ලංකාව මුහුණදුන් සෑම අසීරු අවස්ථාවකදීම චීන රජය සමීප මිතුරෙකු ලෙස ඒ සඳහා සහාය පළ කලා. දශක තුනක් තිස්සේ මෙරට පැවැති යුදමය වාතාවරණය තුළත්, ඉන් පසුවත් චීනය හැමවිටම ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටි බවද ඔහු සදහන් කලා
මෙහිදී අදහස් පළ කළ මෙරට චීන තානාපති චී ෂෙන්හොන් මහතා අවධාරණය කළේ, චීනය හැමවිටම ශ්‍රී ලංකාවේ සාමාජීය හා ආර්ථික තත්ත්වය දියුණු කිරීම සඳහා සහාය පළ කරන බවයි. චීන ප්‍රදානයන් යටතේ මෙරට ජනතාවගේ ආර්ථික හා සාමාජීය තත්ත්වය ඉහළ නැංවීමේ ව්‍යාපෘති 100කට අධික සංඛ්‍යාවකට චීනය දායක වී ඇතැයිද පෙන්වා දුන් තානාපතිවරයා පසුගිය කාලයේදී ශ්‍රී ලංකාව මුහුණ දුන් ස්වභාවික විපත්, ත්‍රස්තවාදී යුද්ධය, කොවිඩ් වසංගතය හා ආර්ථික අර්බුදය අවස්ථාවේදීද හැකි උපරිමයෙන් ශ්‍රී ලංකාවට සහාය පළ කළ බවද අවධාරණය කළේය. චීනය ශ්‍රී ලංකාවේ හොඳ අසල්වැසියකු මෙන්ම සමීප මිතුරෙකු බව පෙන්වා දුන් තානාපතිවරයා සඳහන් කළේ මෙරට ජනතාවගේ සාමාජීය හා ආර්ථික තත්ත්වය ඉහළ නැංවීම සඳහා උදව් උපකාර කිරීමට චීනය තවදුරටත් සුදානමින් සිටින බවයි.
මෙම අවස්ථාවට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ, අමාත්‍යාංශ ලේකම් ඩබ්ලිව්.එස්. සත්‍යානන්ද, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත්, එහි අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර යන මහත්වරු ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
