අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පවතින බුද්ධි අංශ මගින් අනාවරණය කර ඇති බව නීතිපතිවරයා ඊයේ (දෙසැ. 4) අභියාචනාධිකරණය හමුවේ දැනුම් දී තිබේ.

ශානි අබේසේකර මහ මග ගමන් ගන්නා අවස්ථාවකදී රිය අනතුරකට ලක් කර ඔහුව ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පවතින බවට අනාවරණය වී ඇති බව බුද්ධි අංශ සඳහන් කරයි.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ විකුම් කළුආරච්චි යන විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම කැඳවා තිබේ.

තමන්ට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබා දෙන ලෙස පොලිස්පතිවරයා ඇතුළු වග උත්තරකරුවන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් ශානි අබේසේකර විසින් ගොනු කරනු ලැබ ඇති රිට් පෙත්සමක් කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් රොහාන්ත අබේසූරිය මෙම දැනුම් දීම සිදු කර ඇත.

පෙත්සම්කාර ශානි අබේසේකර වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය කරුණු දක්වමින් සඳහන් කර සිටියේ තම සේවාදායකයාට ලබා දී ඇති ආරක්ෂාව පිළිබඳව කිසිසේත් ම සෑහීමකට පත්විය නොහැකි බවයි

පෙත්සම්කරුට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබා දෙන ලෙස වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරිය පොලිස්පතිවරයා වෙත නියෝගයක් නිකුත් කර තිබුණ ත් එය මේ දක්වා ඉටුවී නොමැති බවට ද ඔහු චෝදනා කර තිබේ.

අනතුරුව අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම සම්බන්ධයෙන් සුදුසු නියෝගයක් නිකුත් කිරීම සඳහා එය දෙසැ. 14 වන දා කැඳවන ලෙස නියෝග කර ඇත.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page