ශ්‍රී ලංකා මුහුදු සීමාව තුල විදේශ රටවල පර්යේෂණ නෞකාවලට පර්යේෂණ කටයුතු සිදු කිරීමට අවසර ලබා දීම නැවත සලකා බලනතුරු වසරක කාලයක් සඳහා තාවකාලිකව අත්හිටුවා ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය සදහන් කරයි.
ඒ සම්බන්ධව අදාළ රටවල් සදහා දැනුම් දීමට කටයුතු කර ඇති බවද විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි .
ෂි යාන් 6 චීන පර්යේෂණ නෞකාව ශ්‍රී ලංකා වෙරළට ඔබ්බෙන් සිය සමීක්ෂණය අවසන් කර පසුගිය 2 වැනිදා සිංගප්පූරුවට ළඟා වූ අතර තවත් පර්යේෂණ සහ සමීක්ෂණ නෞකාවක් වන ෂියෑන් යැන්ග් හොන්ග් 3 කොළඹ වාරයේ නැංගුරම්ලා ගැඹුරු මුහුදේ පර්යේෂණ කටයුතු කිරීමට ශ්‍රී ලංකාවෙන් අවසර ඉල්ලා ඇත.
මෙම තීරණයත් සමඟ චීනය ලබන ජනවාරි 5 වැනිදා සිට මැයි මාසය අවසානය දක්වා දකුණු ඉන්දියානු මුහුදු ගැඹුරු ජලයේ පර්යේෂණ කටයුතු කරන ෂියෑන් යැන්ග් හොන්ග් 3 චීන පර්යේෂණ නෞකාව ශ්‍රී ලංකා වාරයේ නැංගුරම්ලෑමට කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේද යන ප්‍රශ්නය කතා කිරීමට අවශ්‍යතාවයක් පැන නොනගින බව විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කළේය.
නමුත් ගැඹුරු මුහුදේ පර්යේෂණ කටයුතු කිරීමට ෂියෑන් යැන්ග් හොන්ග් 3 නෞකාවට අවසර ලබා නොදෙන ලෙස ඉන්දියාව ශ්‍රී ලංකාවට දන්වා ඇත.
පර්යේෂණ නෞකාවලට සැපයුම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා වරායන්හි නැංගුරම්ලා හැකි බවත් එය වැළැක්විය නොහැකි බවත් විදේශ කටයුතු අමාත්‍යංශය වැඩිදුරටත් පෙන්වා දෙන ලදි.
