2018 ඔක්තෝබර් කුමන්ත්‍රණය යනුවෙන් හැඳින්වෙන අත්තනෝමතිකව බලය භාවිතා කිරීම සම්බන්ධයෙන්, ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පවරා තිබෙන නඩුවේ වගඋත්තරකරුවෙකු ලෙස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ලබන සැප්තැම්බර් 23 වෙනි දින ශ්‍රේෂ්ඨාධිකරණයට කැඳවමින් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් නියෝගයක් නිකුත් කර ඇත .
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන එස්. තුරේරාජා, කුමුදුනී වික්‍රමසිංහ සහ අචල වෙන්ගප්පුලි යන විනිසුරුවරුන් මෙම නියෝගය ලබා දී ඇති අතර අගමැති ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ එම ධුරයෙන් ඉවත් කර මහින්ද රාජපක්ෂ හදිසියේ ම එම ධුරයට පත් කරනු ලැබිම සම්බන්ධ ගැසට් නිවේදනය 2018 ඔක්තෝබර් 26 වෙනි දින මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිගේ නියමය පරිදි නිකුත් කර තිබිම අභියෝගයට ලක් කරමින් සමාජ ක්‍රියාකාරිකයෙකු වන අනිල් හේරත් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ගොණු කර තිබු පෙත්සම් සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (29) ඔහුට නොතීසි නිකුත් කරනු ලැබීය.
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ විධායක ජනාධිපති ධුරය දරමින් සිටියදී එම ධුර කාලය තුළදී සිදු කරන ලද අනීතික ක්‍රියා සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියේ ප්‍රශ්න කළ නොහැකිව තිබූ මුක්තිය මුලුමනින්ම අහෝසි වී එම පුද්ගලයන් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට කැඳවීම මේ අනුව සිදුව තිබිම සුවිශේෂී කාරණාවක් වේ.
