චීන සමාගමකින් කාබනික පොහොර මිල දී ගැනීම සම්බන්ධව පැන නැගී ඇති ගැටළුව දෙරට අතර සුහදතාව රැකෙන පරීදි සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට තීරණය කළ බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්තය අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි .
කාබනික පොහොර ගනුදෙනුව නිසා ඇතිව තිබෙන ගැටලු සහගත තත්ත්වයට විසඳුමක් ලබා ගැනීම සඳහා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇති බව සදහන් කරයි.
චීන කාබනික පොහොර සමාගම සහ රාජයේ පොහොර සමාගම් දෙක අතර පැන නැගී ඇති ගැටළුව නිරාකරණය කිරීමටත් දෙරට අතර මිත්‍ර සබඳතා පළුදු නොවන අයුරින් සහ ලාංකික ගොවි ජනතාවගේ යහපත උදෙසා පියවර ගැනීමටත් මේ අනුව තිරණය විය.
මෙම මස 19 සිට 22 දක්වා ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වන ආසියා පැසිපික් කලාපීය සමුළුවට සහභාගී වීමට නියමිත මහජන චීන රජයේ කෘෂිකර්ම හා ග්‍රාමීය කටයුතු කටයුතු පිළිබඳ උප අමාත්‍ය Ma Youxiang මහතා ඇතුළු නියෝජිත පිරිස සමග මේ පිළිබඳව සාකච්ඡා කිරීමටද තීරණය කෙරුණු බව අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කර සිටියා.
චීන නියෝජිතයන් සමග පැවැත්වෙන මෙම සාකච්ඡාවට විදේශ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා ඇතුළු විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන්ට ආරාධනා කිරීමට පියවර ගන්නා ලෙස ද කෘෂිකර්ම අමාත්‍යවරයා අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් දි ඇත.
