රසායනික පොහොර සමග තාක්ෂණයෙන් දියුණු කළ පරිසර හිතකාමී ගුණාත්මයෙන් ඉහල ජෛව, කාබනික හා දෙමුහුම් පොහොර යොදා සිදු කරන ලද වී වගා ආදර්ශණ නිරීක්ෂණය කිරීම, ආහාර සුරක්ෂිතතාව හා කෘෂිකර්මය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් පෙබරවාරි 15 සහ 16 යන දිනවල සිදු කෙරිණි.

මෙම අවස්ථාවට කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ඩී. වීරසිංහ මහතා සහ සාමාජික මන්ත්‍රී ගරු කිංස් නෙල්සන් මහතාද, ආංශික අධීක්ෂණ කාරක සභා කාර්‍යාලය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම පර්යේෂණ ප්‍රතිපත්ති සභාව, ජාතික පොහොර ලේකම් කාර්‍යාලය, නැගෙනහිර සහ උතුරු මැද පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, මහවැලි බී සහ සී කළාපය නියෝජනය කරමින් නිලධාරින් පිරිසක්ද නැගෙනහිර පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයාද සහභාගි විය.

වැලිකන්ද සහ දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශ වල සිදු කළ වගා ආදර්ශණ වල අස්වනු සාර්ථකත්වය ගොවීන් විසින් මෙහිදී පෙන්වා දෙන ලද අතර මේ පිළිබඳ පාර්ලිමේන්තුවට වාර්තා කර මෙම ආදර්ශණ තව දුරටත් ව්‍යාප්ත කරන බව ගරු ඩී. වීරසිංහ මහතා මෙහිදී පැවසීය.

තවද පරිසර හිතකාමී ගුණාත්මක බවෙන් ඉහල කාබනික කැට සහ පෙලට් පොහොර නිශ්පාදනාගාර දෙකක් ආංශික අධීක්ෂණ කාරක සභාවේ නිරීක්ෂණයට ලක් විය.

එහිදී පළමුව නිරීක්ෂණයට ලක් වූයේ එලිබිච්චිය පිහිටි ස්වයංක්‍රීය තාක්ෂණයෙන් යුත් මසක නිශ්පාදන ධාරිතාවය මෙට්‍රික් ටොන් 10,000 ක් ඇති නිශ්පාදනාගාරයක් වන හ්යෝසුන්ග් ඕ එන් බී (Hyosung ONB) පොහොර නිශ්පාදනාගාරයි.

එමෙන්ම අනුරාධපුර ඔයාමඩුවෙහි ඇති නවීණ තාක්ෂණික ක්‍රමවේද යොදා කාබනික කැට සහ පෙලට් පොහොර නිපදවන වසරක ධාරිතාව මෙට්‍රික් ටොන් 10,000 ක් සහිත නිශ්පාදනාගාරයක් වන එකෝ ප්‍රොටෙක්ට් ඉංජිනේරු සමාගම [Eco Protect Engineering (Pvt.) Ltd] කාරක සභාවේ නිරීක්ෂයට ලක් විය.

කාබනික පොහොර නිශ්පාදකයින්ගේ ඉල්ලීම වූයේ රජය ප්‍රතිපත්තියක් සකස් කර මේ වන විට විශාල ආයෝජනයක් සිදු කර මහා පරිමාණයෙන් නිශ්පාදනය වන මෙම පොහොර ගොවීන් අතරට ගෙන යෑමට ක්‍රමවේදයක් සකස් කරන ලෙසයි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page