රටේ ආර්ථිකය පිළිබඳ සත්‍ය අවබෝධ කර නොගෙන, බලය ලබා ගැනීම වෙනුවෙන් ලබාදුන් දේශපාලන පොරොන්දු නිසා රටේ ජනතාවට දැඩි පීඩාවකට ලක්වීමට සිදු වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි .

එම වරද කිරීමට තමා සූදානම් නැති බව අවධාරණය කළ ජනාධිපතිවරයා සත්‍යයට මුහුණ දෙමින් රටට සුබවාදී අනාගතයක් ගොඩනගා ගැනීමට සියලුදෙනා කටයුතු කළයුතු බවද පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ “යුනයිටඩ් යූත් තරුණ එකමුතුව “ තරුණ අපේ අනාගතය” නමින් සංවිධානය කළ සුහද හමුවට එක්වෙමිනි.

මෙම හමුව තැප්රොබේන් ඒන්ටර්ටේට්මන්ට්හීදි පැවැත්විණි.

මෙහිදී අදහස් දැක්වු ජනාධිපතිවරයා..

හැමදේම නොමිලේ ලබාදීම රටේ ආර්ථිකය කඩා වැටීමට ප්‍රධාන හේතුවක් වී තිබෙනවා. නොමිලේ ලබා දීමේදී තව කෙනෙකුගෙන් එය අය කර ගැනීමක් සිදු වෙනවා. අපේ රටේ අපි හැම දේම නොමිලේ දුන්නා. ආදායම් නැති වෙලාවෙදි මුදල් මුද්‍රණය කරමින් ජනතාවට නොමිලේ සහන ලබාදීමට කටයුතු කළා. මේ හේතුවෙන් ලබාගත් විදේශ ණය ගෙවීමට නොහැකි තත්ත්වයක් ඇති වුණා. අවසානයේ අප දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා.

ආණ්ඩුවක් ලෙස ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට අවශ්‍ය පියවර ගත් විට ජනතාවට ගෙවීමේ හැකියාව ඇතිවෙනවා. එම ගෙවීමේ හැකියාව ඇති ආර්ථිකයක් නිර්මාණය කිරීමට නව වැඩපිළිවෙළක් අප ක්‍රියාත්මක කරමින් තිබෙනවා. මේ වන විට ශ්‍රී ලංකාව එක් ඩොලරයක් සඳහා රුපියල් 310ක් පමණ වියදම් කරනවා. අප ඉන්නේ විශාල අර්බුදයක් මැදයි. එම අර්බුදයෙන් එළියට ඒමට මේ වන විට කටයුතු කරමින් සිටිනවා.

ඉතින් මම මෙතනට ඇවිල්ලා data නොමිලේ ලබා දෙනවා කියලා පොරොන්දු දුන්නොත් මම සිදු කරන්නේ සෑම දෙනාම මුළා කිරීමක්. ඒ නිසා මම ඔබලාට ලබා දෙන පොරොන්දුව වන්නේ ශක්තිමත් ආර්ථිකයක් නිර්මාණය කර ජනතාවගේ ගෙවීම් හැකියාව දියුණු කිරීමට වැඩසටන් ක්‍රියාත්මක කරන බවයි. යම් දේවල් නොමිලේ ලබා දුන්නොත් ඉදිරියේදී නැවත විදුලි කප්පාදු, ඉන්ධන පෝලිම් ඇතිවෙන්න පුළුවන්. පසුගිය අදුරු යුගයට රට නැවත ඇද නොවැටෙන ලෙස කටයුතු කිරීමට අප සියලුදෙනා වගබලා ගත යුතුයි.

ගුරුවරු බඳවා ගැනීමේදී අසාධාරණයක් වූවා යැයි පවසමින් එක කණ්ඩායමක් අධිකරණයට ගොස් තිබෙනවා. එම ප්‍රශ්නය නිසා උසාවිය ගුරු පත්වීම් සඳහා බඳවා ගැනීම් කල් දමා තිබෙනවා. මෙම නඩුව ඉක්මනින් අවසන් වනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම ස්වයං රැකියා සිදුකරන ව්‍යවසායකයින්ට ආධාර උපකාර ලබාදීමට අප බලාපොරොත්තු වෙනවා. පසුගිය ආර්ථික අර්බුදය සමයේ ස්වයං රැකියා සිදු කරන පිරිස් කඩා වැටීමකට ලක් වුණා. එකවර විශාල ප්‍රමාණයකට බැංකු ණය ලබාදීමෙන් ආර්ථික අර්බුදයක් නැවත ඇතිවිය හැකිය. එම නිසා ස්වයංරැකියාවල නියුතු ප්‍රජාවගේ ප්‍රමුඛතා අනුව බැංකු ණය ලබා දීමට සැලසුම් කර තිබෙනවා. මීට පෙර ස්වයං රැකියා ලාභීන්ට ලබා දුන් බැංකු ණය නැවත අයකර ගැනීමේදී විවිධ ප්‍රශ්න මතුවී තිබෙනවා. සංචාරක ව්‍යාපාරයට අදාළ ස්වයං රැකියා සඳහා වැඩි නැඹුරුතාවයක් දැක්විය යුතුයි. මෙරට සංචාරක ව්‍යාපාරය මේ වන විට විශාල දියුණුවක් ලබමින් තිබෙනවා.

දැනට ක්‍රීඩා අමාත්‍යංශයෙන් මේ සඳහා සහනයක් ලබාදී තිබෙනවා. මීට වඩා සංවිධානාත්මකව ඉදිරියේදී ක්‍රීඩකයන්ගේ පෝෂණය වර්ධනය කිරීමට අප කටයුතු කරනවා. ඒ වගේම පුහුණු ස්ථාන වැඩි කිරීමටත් බලාපොරොත්තු වෙනවා. ක්‍රීඩකයන්ට වයස අවුරුදු 8 සිටම පෝෂණය ලබාදීම සිදුකළ යුතුයි. ඒ නිසා පාසල් ක්‍රීඩකයන්ගේ පෝෂණ තත්ත්වය ඉහල නංවාලීමට පෞද්ගලික ආයතන දායක කරගැනීමටත් බලාපොරොත්තු වෙනවා. ක්‍රීඩකයන්ට අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබාදීමටත් වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා. ක්‍රීඩා කිරීම සඳහා අවශ්‍ය ඇඳුම් ලබාදීම ද සිදු කරනවා. අනෙක් රටවල්වල වාණිජ මට්ටමෙන් ක්‍රීඩාව සිදුකරන නිසා ඊට පෞද්ගලික ආයතනවල දායකත්වයත් සෘජුව ලැබෙනවා. ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව වාණිජ මට්ටම දක්වා දියුණු වී නැහැ. ඊළඟ දශකය තුළ ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව වාණිජ මට්ටමට දියුණු කළ යුතුයි. ඒ සඳහා රජයෙන් අවශ්‍ය දායකත්වය ලබා දෙනවා.

අප පසු කළේ ඉතා අසීරු කාලයක්. එහිදී පළමු වගකීම වුණේ ජනතාව ජීවත් කරවීමයි. වෙනත් ව්‍යාපාර කිරීමට පෙර ඔවුන්ට එදිනෙදා ජීවිතය පවත්වාගෙන යාමට තිබුණා. ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව සමඟ පැවති සාකච්ඡාවලදීත් මෙම ජනතාව කෙරෙහි අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය බව පෙන්වා දුන්නා. ඔවුන්ට ලබාදෙන ප්‍රතිලාභ ඉහළ නැංවීමට තීරණය කළ විට අපට මුහුණ දීමට සිදුවු පළමු ප්‍රශ්නය වුණේ ඒ සඳහා මුදල් සොයා ගන්නේ කෙසේද යන්නයි. ඉන් පසුව අස්වැසුම වැඩසටහන ආරම්භ කිරිම වෙනුවෙන් ලෝක බැංකුව අපට ඩොලර් මිලියන 100ක මුදලක් ලබාදුන්නා. සමෘද්ධියෙන් ජනතාවට ලබාදුන් මුදල ප්‍රමාණවත් නැහැ. ඒ නිසා අප එම මුදල මෙන් තුන් ගුණයක් අස්වැසුම මඟින් ජනතාවට ලබාදීමට කටයුතු කළා. සුදුසුකම් සම්පූර්ණ කළ අය සඳහා සෘජුව එම මුදල් ලබාදීමට ඒ අනුව පියවර ගෙන තිබෙනවා. මෙම සහය නැතිව ජනතාවට ඉදිරියට යාම අපහසුයි.

ඒ වගේම අඩු ආදායම්ලාභී ජනතාව මෙම මුදල් පරිභෝජනය සඳහා අවශ්‍ය භාණ්ඩ ලබා ගැනීමට වියදම් කරනවා.

එවිට වෙළෙඳපොළ දියුණු වනවා. ඒ හරහා ආර්ථිකය දියුණු වෙනවා. ඒ වගේම විමධ්‍යගත අයවැය සහ කඳුකර දශකයට ලබා දී ඇති මුදල් වැය කිරීමේදීත් ඒවා නැවත ලැබෙන්නේ රජයටයි. පසුගිය කාලයේ ග්‍රාමීය කුඩා කර්මාන්තකරුවන්ගේ කර්මාන්ත බිඳ වැටී තිබුණා. නැවත මේවා ගොඩනඟා ගැනීම තුළින් ඒ මුදල් නැවත රටේ ආර්ථිකයට එක් වෙනවා.

මෙම කටයුතුවලින් වගේම සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන මුදල්වලින් තමයි ආර්ථිකය ඉදිරියට ගෙන යන්නේ. ඒ වගේම 2023 වසරේ සිට හොඳ අස්වැන්නක් ලබා ගැනීම වෙනුවෙන් අපි කැපවී කටයුතු කළා. මේ සියලු කටයුතු වලින් අපේ ආර්ථිකයේ පරිහරණය කරන මුදල් ප්‍රමාණය වැඩි වෙනවා.

ඒ වගේම ජනතාවගේ සින්නකර ඉඩම් අයිතිය ලබාදීම වෙනුවෙන් අප පියවර ගෙන තිබෙනවා. ඒ වගේම බස්නාහිර පළාත තුළ තට්ටු නිවාසවල සිටින අඩු ආදායම්ලාභී ජනතාවට එම නිවාසවල අයිතිය ලබාදිමේ වැඩපිළිවෙළ ද අප ක්‍රියාත්මක කර තිබෙනවා.
අප උත්සාහ කරන්නේ ඩිජිටල් ආර්ථිකයක් කරා ගමන් කිරීමටයි. ගමේ තිබෙන පහසුකම් තුළින් තමයි ගම දියුණු වෙන්නේ. අපි එම පහසුකම් දැන් ක්‍රමාණුකූලව වැඩිදියුණු කරගෙන යනවා. විශේෂයෙන් SLT සමාගම පුද්ගලික අංශයට භාරදුන් විට මෙම යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් ආයෝජන කිරීමට ඔවුන්ට දැනුම් දෙනවා. නවීන තාක්ෂණය නොමැතිව අපට ඉදිරියට යන්න බැහැ. අපේ ආර්ථිකය ඩිජිටල් ආර්ථිකයක් බවට පත්කළ යුතුයි. ආණ්ඩුවට මුදල් නැහැ. ඒ නිසා පුද්ගලික අංශය සමග මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

රටක් ලෙස අප විශාල ණය ප්‍රමාණයක් ලබාගෙන තිබෙනවා. මෙම ණය ගෙවීම සඳහා 2042 දක්වා මම කාලය ඉල්ලා තිබෙනවා. ඉතින් එක් පුද්ගලයෙක් හෝ දෙන්නෙක් ලබාගත් මුදල් නැවත අරගෙන මෙම ප්‍රශ්නය විසඳන්න හැකියි කියා යමෙක් ප්‍රකාශ කරනවා නම් එය සම්පූර්ණ අසත්‍යයක්.

ඒ වගේම අපි දැන් අලුත් කොමිසමක් පත් කර තිබෙනවා ඕනෑම අයෙකුට එහි ගොස් තොරතුරු ලබාදිය හැකියි. අපි ආණ්ඩුවක් විදිහට මේ පිළිබඳ ක්‍රියා කර තිබෙනවා. නඩු දැමිය හැකි පුද්ගලයන්ට නඩු පවරනු ලැබුවා. අනෙක් අය පිළිබඳ සාක්ෂි තවම ලැබී නැහැ. මේ පිළිබඳ අලුත් කොමිසමට කරුණු වාර්තා කිරීමට ඕනෑම අයෙකුට හැකියාව තිබෙනවා. එම කටයුතුවල ඇඟිලි ගහන්න ආණ්ඩුව කටයුතු කරන්නේ නැහැ.

ඒ වගේම දූෂණය නැති කළ යුතුයි. මමත් කටයුතු කරන්නේ ඒ සඳහායි. අපි ඒ වෙනුවෙන් නඩු ගණනාවක් පවරා තිබෙනවා. ඒ වගේම ස්වාධීන කොමිසමක් පත් කර තිබෙනවා. එමගින් මේ පිළිබඳ සොයා බැලීමට කටයුතු කරගෙන යනවා. මේ සඳහා අවශ්‍ය පුහුණු කණ්ඩායම් ප්‍රමාණවත් නැති නිසා විදේශ රටවලිනුත් ඒ සඳහා අවශ්‍ය සහාය ඉල්ලා තිබෙනවා.

රටේ මුදල් වංචා කරපු අයට දඬුවම් කර එම මුදල් නැවත ලබා ගන්නවා වගේම රටේ ආර්ථිකය නැවත ගොඩනැගීමට අවශ්‍ය වැඩපිළිවෙළ අප ක්‍රියාත්මක කළයුතුයි. මෙය ප්‍රශ්න දෙකක් බව හඳුනාගෙන අප සෑම විටම කටයුතු කළ යුතුයි.

චිත්‍රපට ප්‍රමාණය වැඩිවීමත් සමඟ චිත්‍ර පටියක් නිර්මාණය කර එය ප්‍රදර්ශනය කිරීමට වසර 05ක් වැනි කාලයක් ගත වෙනවා. නමුත් චිත්‍රපටයක් නිර්මාණ කළ විගස එය ප්‍රේක්ෂකයන් වෙනුවෙන් ඉදිරිපත් කළ යුතුයි. මේ ප්‍රශ්නය පිළිබඳ අප මේ වන විට සාකච්ඡා කරමින් සිටිනවා.

ඒ වගේම සිනමා කර්මාන්තය දියුණු කිරීමට නම් හොඳ සිනමා ශාලා අවශ්‍යයි. ඒ නිසා අනෙක් රටවල් වගේ සිනමාව වෙළෙඳ පොළට විවෘත කිරීමෙන් සිනමාව දියුණු කළ හැකියි. නමුත් මෙය කරන්නේ කෙසේද කියා අප අවධානය යොමු කළ යුතුයි. ආර්ථික වශයෙන් ආයෝජනය කරන මුදලට සරිලන ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැත්නම් ඵලක් නැහැ. ඒ නිසා මෙම ගැටලුව විසදීම පිළිබඳ අප සාකච්ඡා කරමින් සිටිනවා.

මේ රටේ ඇති වූ ආර්ථික අර්බුදය කාලයක් තිස්සේ ඇති වූ දෙයක්. යුද්ධයෙන් පසුව අපේ අපනයන අඩු වුණා. නමුත් ආනයන වැඩි වුණා. මේ නිසා වෙළෙඳ ශේෂයේ හිඟයක් ඇති වුණා. අපි අපේ කෘෂිකර්මාන්තය පිළිබඳ අවධානය යොමු කළේ නැහැ. රටේ තේ, පොල්, රබර් කර්මාන්ත කඩා වැටුණා. අපේ ඉඩම් ප්‍රතිපත්ති නිසා මෙරට තේ වගා කළ විදේශ සමාගම් අප්‍රිකාව, කෙන්යාව වැනි රටවලට ගොස් තේ වගා කිරීමට යොමු වුණා. ඔවුන්ගේ රටවල එම වගාවන් හොදින් සිදුවන නිසා එම රටවල් දැන් අපට ස්තූති කරනවා.

අපි අපේ අපනයන කර්මාන්තය දියුණු කළේ නැහැ. 1991 මම කර්මාන්ත අමාත්‍යවරයාව සිටියදී වියට්නාමයේ කර්මාන්ත අමාත්‍යවරයා මගෙන් විමසුවා ඔබ ඔබේ රටේ කර්මාන්ත දියුණු කරන්නේ කෙසේද, කියලා. දැන් මට ඔහුගෙන් ඒ ප්‍රශ්නය ඇසීමට සිදුව තිබෙනවා.

අපේ දේශපාලනඥයන් ජනතාවට පොරොන්දු ගොඩක් ලබා දුන්නා. නමුත් අපි ඇත්ත ලෝකය දෙස බැලුවේ නැහැ. බංග්ලාදේශය නිදහස ලබන විට ඔවුන්ට මුදල් තිබුණේ නැහැ. අද බංගල්දේශය අපට ඩොලර් මිලියන 200ක් ලබාදී තිබෙනවා. අපේ රටට මොකක්ද වුණේ කියලා දැනගෙන අප ඉදිරියට යා යුතුයි. ඒනිසා පොරොන්දු දීලා වැඩක් නැහැ.

ඇතැම් අය කියනවා ජාතික ආර්ථිකය ඉදිරියට ගෙන යන්න අවශ්‍යයි කියලා. ජාතික ආර්ථිකය කියලා අභ්‍යන්තර වෙළෙදපොළට සීමා වෙනවා නම් එය ජාතික ආර්ථිකයක් නොවෙයි. පරාක්‍රමබාහු රජතුමාටත් අපනයනය කිරීමට සිදු වුණා. එසේ නම් ඇයි අපට අපනයන ආර්ථිකයකට යොමු විය නොහැකියි.

මම මේ තනතුර භාරගත්තේ වෙන කවුරුත් එය භාරගැනීමට ඉදිරිපත් නොවූ නිසයි. වගකීම් භාර ගැනීමට ඔවුන් බිය වුණා. එයයි සත්‍ය තත්ත්වය.

නමුත් තවමත් විවිධ අය විවිධ ප්‍රකාශ සිදු කරනවා. එක් පිරිසක් කියනවා මේ රටේ ව්‍යාපාරිකයන්ගේ මුදල් පිටරට තිබෙනවා ඒ මුදල් ගෙන ආ විට ප්‍රශ්නය ඉවරයි කියලා. තවත් පිරිසක් කියනවා දේශපාලනඥයන් පිට රට බැංකුවලට දාපු මුදල් ගෙන ආ විට ප්‍රශ්නය ඉවරයි කියලා. ඒ වගේම රාජපක්ෂලාගේ මුදල් නැවත අය කර ගත් විට ප්‍රශ්නය ඉවරයි කියනවා. මේ එකක්වත් විසදුමක් නොවයි.

රටේ අපනයනවලට වඩා ආනයන වැඩිනම් අපි ණය ලබාගත් විට අපට එම ණය ආපසු ගෙවන්න බැරි වෙනවා. පසුගිය වසර ගණනාව පුරා සිදු වුණේ එයයි.

පසුගිය ආර්ථික අර්බුදය හමුවේ ඇතැම් අය රට අතහැර ගියා. දැන් කියනවා එංගලන්තයට වඩා ලංකාව හොදයි කියලා. එංගලන්තයේ තිබෙන ප්‍රශ්න අපේ රටේ ප්‍රශ්න තරම් පහසුවෙන් විසඳාගන්න බැහැ. අපි අපේ රට ගොඩනගාගෙන ඉදිරියට යමු කියලා මම ඔබ සියලුදෙනාට ආරාධනා කරනවා.

අනික් ප්‍රශ්නය තමයි රුපියල අවප්‍රමාණය වීම. බදු ප්‍රශ්න වලට අමතරව මේ හේතුව නිසාත් අද මිල ඉහළ යාමක් සිදුව තිබෙනවා. කාන්තා ජනගහනයෙන් අඩකට පමණ සනීපාරක්ෂක තුවා ලබා ගැනීමට නොහැකි වී තිබෙන නිසා මෙය රටේ ගැටලුවක් වී තිබෙනවා. ඒ නිසා එය හසුරුවන්නේ කෙසේද යන්න පිළිබඳව රජයේ අවධානයට ලක්ව තිබෙනවා. බදු නොගෙව්වොත් අයවැය පියවා ගැනීම සඳහා අවශ්‍ය මුදල් නැතිවෙනවා. බදු අය කළහොත් මිල වැඩි වෙනවා. ඉතින් මේවා තමයි මේ මොහොතේ ආණ්ඩුවට මුහුණ දෙන්න වෙලා තිබෙන ප්‍රශ්න. ඒ නිසා මෙය අප අවධානය යොමු කළ යුතු ප්‍රශ්නයක්.ඒ බව මම පිළිගන්නවා.

මෙම කතිකාව වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පැමිණිම සනිටුහන් කරමින් “යුනයිටඩ් යූත් තරුණ ඒකමුතුවේ” උපදේශක නියෝමාල් පෙරේරා මහතා විසින් ජනාධිපතිවරයා වෙත සමරු තිළිණයක් ද පිළිගැන්වීය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page