CSIAP හෙවත් දේශගුණ සුහුරු වාරි කෘෂිකාර්මික ව්‍යාපෘතිය තවත් වසරකින් දීර්ඝ කිරීම සඳහා තවත් ඩොලර් මිලියන 25 ක මුදලක් වෙන් කිරීමට රජය තීරණය කර ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ විදේශ අරමුදල් මත ක්‍රියාත්මක වන CSIAP ((Climate Smart Irrigated Agriculture Project) හෙවත් දේශගුණ සුහුරු වාරි කෘෂිකාර්මික ව්‍යාපෘතියේ කටයුතු මෙම වසරේ අවසන් වීමට නියමිතව තිබුණු අතර විශේෂයෙන් දේශගුණික බලපෑම් නිසා පීඩාවට පත්වන දිස්ත්‍රික්කවල කෘෂිකර්ම හා වාරිමාර්ග නඟා සිටුවීම ඉළක්ක කර ගනිමින් ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය මගින් අනුරාධපුර, හම්බන්තොට, මොනරාගල, අම්පාර, කුරුණෑගල, වව්නියාව වැනි දිස්ත්‍රික්කවල කුඩා වැව් හා ඇළවේලි ප්‍රතිසංස්කරණය සිදු කරනු ලැබීය.

එමෙන්ම එම ප්‍රදේශවල ගොවි ජනතාවගේ ජීවනෝපාය නඟා සිටුවීම සඳහා කෘෂි උපකරණ හා වගා කටයුතු ද ඉහළ නැංවීමට අවශ්‍ය තාක්ෂණය හා දැනුමද ලබා දෙනු ලබයි.

මෙම ව්‍යාපෘතිය මෙම වසරේ අවසන් කිරීමට නියමිතව තිබුන ද එම ව්‍යාපෘතියේ කටයුතු තවත් වසරකින් දීර්ඝ කිරීමට අවශ්‍ය මුදල් රජය මගින් ලබා දීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍ය මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කළේය.

ඒ අනුව මෙම ව්‍යාපෘතියේ කටයුතු තවත් වසරකින් දීර්ඝ කිරීම සඳහා ඩොලර් මිලියන 25ක මුදලක් ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබූනු බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (16) හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජූල්පල්ලම හා කාවන්තිස්සපුර කෘෂික ව්‍යවසායකත්ව ගම්මානවල තරුණ ගොවීන්ට කෘෂි උපකරණ ලබා දීමේ වැඩ සටහනකට එක්වෙමිනි.

මේ වනවිට හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජූල්පල්ලම හා කාවන්තිස්සපුර ගම්මාන දෙක ආශ්‍රිතව පිහිටුවා ඇති තරුණ කෘෂිව්‍යවසායකත්ව ගම්මානවල තරුණ ගොවින් සඳහා රුපියල් මිලියන 200ක් පමණ වටිනා කෘෂි උපකරණ ලබා දීම ඊයේ අමාත්‍යවරයා අතින් සිදුවිය.

බිංදු ජලසම්පාදන හා විසිරි ජල සම්පාදන පද්ධති, කෘමි ප්‍රතිරෝධී දැල්, විදුලි වතුර පොම්ප, ලීටර් 1000 ජල ටැංකි, වැහි ආවරණ,විදුලි පඹයා, අඹ ගස් කප්පාදු කිරීමේ උපකරණ,වගා මළු, ගොඩ බීජ වප්කර, පලතුරු පැළවර්ග, සූර්ය බල ජල පොම්ප, වර්ග මීටර් 1000 හරිතාගාර වැනි උපකරණ රැසක් ඊයේ අමාත්‍යවරයා අතින් ගොවීන් වෙත බෙදා දුන්නේය.

මෙහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා CSIAP ව්‍යාපෘතිය මගින් ලබා දෙන කෘෂි සේවාවන් සඳහා ඉදිරි වසරට රුපියල් මිලියන 8000ක් වැනි විශාල මුදලක් ලබා දීමට රජය තීරණය කරන ලද්දේ දුශ්කර ප්‍රදේශවල ගොවි ජනතාවගේ ජීවනෝපාය සංවර්ධනය සඳහා බව කියා සිටියේය.

මෙම උපකරණ යොදා ගනිමින් වගාවන් සිදු කරන ලෙස ප්‍රකාශ කළ අමාත්‍යවරයා ගොවි ජනතාවගේ වගකීම විය යුත්තේ මෙම උපකරණ යොදා ගනිමින් වගා කටයුතු සිදු කර රටට අවශ්‍ය ආහාර සම්පාදනය කිරීම මෙන්ම තම පවුලේ ආර්ථිකය ඉහළ නැංවීම බව ද සඳහන් කළේය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page