වාර්ෂික බස් ගාස්තු සංශෝධනය එළඹෙන ජූලි මස 1 වැනිදා සිට ක්රියාත්මක කරන ලෙස පුද්ගලික බස් සංගම් විසින් ජාතික ගමනාගමන කොමිෂන් සභාව වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ.
ඊයේ (24) දිනයේදී ලිඛිතව එම ඉල්ලීම සිදු කළ බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.
ඒ අනුව, ඉදිරි දින පහ තුළ බස් ගාස්තු සංශෝධනය පිළිබඳව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සමඟ සාකච්ඡා කිරීමට ද අපේක්ෂා කරන බව ඔහු සඳහන් කළේය.
“මීට පෙර අපි වාර්ෂික බස් ගාස්තු සංශෝධනය ජූලි 5 වැනිදා සිට ක්රියාත්මක කරන ලෙස දැනුම් දී තිබුණා. නමුත් ඩීසල් මිල ඇතුළු කරුණු සලකා බැලීමෙන් අනතුරුව, සියලුම බස් සංගම් සමඟ සාකච්ඡා කර ඔවුන්ගේ අනුමැතිය ලබාගෙන, ජූලි 1 වැනිදා සිට ගාස්තු සංශෝධනය ක්රියාත්මක කරන ලෙස ඊයේ ලිඛිතව දැනුම් දුන්නා.
ඒ වගේම, ඉදිරි දින පහ ඇතුළත ජාතික ගමනාගමන කොමිෂන් සභාව සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටත් නියමිතයි. ගාස්තු සංශෝධනයට අදාළ සියලු වියදම් සහ මිල ගණන් පිළිබඳ තොරතුරු අපි මේ වන විටත් ඉදිරිපත් කර තිබෙනවා. කෙසේ වෙතත්, ජූලි මාසයේ ක්රියාත්මක වන ගාස්තු සංශෝධනය සියයට 15 ඉක්මවන ප්රතිශතයක් වනු ඇතැයි අපි අපේක්ෂා කරනවා,” යනුවෙන් ගැමුණු විජේරත්න මහතා වැඩිදුරටත් පැවසීය.
