පොසොන් පොහෝ දිනය ශ්‍රී ලාංකික බෞද්ධයන්ට අතිශය වැදගත් වූ ආගමික හා ඓතිහාසික දිනයකි.

බුද්ධ පරිනිර්වාණයෙන් වසර 236කට පසු, ධර්මාශෝක අධිරාජ්‍යයාගේ පුත්‍රයා වූ අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ ක්‍රි.පූ. තුන්වන සියවසේදී ලක්දිව දේවානම්පියතිස්ස මහ රජතුමාගේ රාජ්‍ය සමයේ ශ්‍රී ලංකාවට වැඩම කර බුදු දහම මෙරට ස්ථාපිත කළහ.

මෙම ඓතිහාසික සිදුවීම සිදුවූයේ මිහින්තලේ පර්වතයේදීය…

මිහිඳු මහ රහතන් වහන්සේ ලක්දිවට වැඩමවීමෙන් පසු දේවානම්පියතිස්ස රජුට ප්‍රථමයෙන් බුද්ධිය හා විමර්ශන හැකියාව පරීක්ෂා කිරීම සඳහා ප්‍රසිද්ධ “අඹ ප්‍රශ්න” විමසූහ.

රජු එම ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු ලබා දීමෙන් පසු බුදු දහම අවබෝධ කර ගැනීමට දේවානම්පියතිස්ස රජතුමා සුදුසු බව කනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට තහවුරු විය.

අනතුරුව “චූළහත්ථිපදෝපම සූත්‍රය” දේශනා කළ අතර, රජතුමා ඇතුළු විශාල පිරිසක් එදින බුදු සසුන වැළඳ ගත්හ.

මිහිඳු මහ රහතන් වහන්සේගේ පැමිණීමත් සමඟ ශ්‍රී ලංකාවේ ආගමික, සංස්කෘතික, අධ්‍යාපනික හා සමාජීය දියුණුවට නව පරිච්ඡේදයක් ආරම්භ විය.

ශ්‍රී ලංකාද්වීපය පුරාම විහාරස්ථාන ඉදිකෙරුණු අතර, භික්ෂු සංඝයා පිහිටුවීම, ධර්ම අධ්‍යාපනය ව්‍යාප්ත කිරීම සහ බෞද්ධ සංස්කෘතිය රට පුරා පැතිරීම සිදු විය.

පසුව සංඝමිත්තා තෙරණිය විසින් ශ්‍රී මහා බෝධි ශාඛාව ශ්‍රී ලංකාවට වැඩම කරවීමත් සමඟ බුදු සසුන තවදුරටත් ශක්තිමත් විය.

බෞද්ධ දර්ශනය මිනිසාගේ ජීවිතය යහපත් කරවන මධ්‍යම ප්‍රතිපදාව උගන්වයි.

කරුණාව, මෛත්‍රිය, මුදිතාව බෞද්ධ දර්ශනයේ මූලික හරයන් වේ.

උපේක්ෂාව, අවිහිංසාව, සත්‍යවාදී බව සහ සදාචාරාත්මක ජීවිතය මෙ උතුම් ශ්‍රී ලාංකික ජනතාවගේ උරුම කළේ අද වන් පොසොන් පොහොය දිනයකදීය.

ජීවන රටාව, නීති, කලාව, සාහිත්‍ය, ගෘහ නිර්මාණ ශිල්පය සහ සමාජ සම්ප්‍රදායන් කෙරෙහි දැඩි බලපෑමක් ඇති කිරීමට මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩමවීමත් සමඟ මේ ශ්‍රී ලංකාදීපය තුළුළ සිදුවිය.

එදා සිට අද දක්වා ශතවර්ෂ ගණනාවක් පුරා අපගේ මුතුන් මිත්තන් තම ජීවිත පරදුවට තබමින් බුදු සසුනත් බෞද්ධ උරුමයත් ආරක්ෂා කළහ.

ඒ නිසා අද වන විටත් ශ්‍රී ලංකාව ලෝකයේ ප්‍රමුඛ බෞද්ධ උරුමයක් සහිත රටක් ලෙස පිළිගැනේ.

වර්තමාන ලෝකය විවිධ සමාජීය, සංස්කෘතික හා තාක්ෂණික අභියෝගවලට මුහුණ දෙමින් සිටියද, බුදු දහමේ සාරධර්ම ආරක්ෂා කිරීම සහ ඒවා ඉදිරි පරපුරට නිවැරදිව දායාද කිරීම අප සියලු බෞද්ධයන්ගේ වගකීමකක් වනු ඇත.

බුදු දහම ආරක්ෂා කිරීම යනු අන්‍ය ආගම්වලට හෝ විශ්වාසයන්ට ගරු නොකිරීම නොව, තමන්ගේ ආගමික හා සංස්කෘතික උරුමය ගෞරවයෙන් රැකගෙන, කරුණාව, මෛත්‍රිය සහ සහජීවනය මත පදනම් වූ සමාජයක් ගොඩනැගීමයි.

මෙවර පොසොන් පොහෝ දිනයේදී අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගේ උතුම් මෙහෙවර සිහිපත් කරමින්, බුදු දහමේ සදාතනික වටිනාකම් අනුව ජීවත් වීමටත්, අපේ ආගමික හා සංස්කෘතික උරුමය ආරක්ෂා කරමින් අනාගත පරපුරට දායාද කිරීමටත් අප සැම අදිටන් කර ගත යුතුය .

සියලු දෙනාට නිවන් මඟ ආලෝකමත් වන පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා!

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page