හදිසි විදුලි මිලදී ගැනීම් සදහා මසකට රුපියල් කෝටි හයසියයකට අධික මුදලක් වැයවන බව ලංවිම ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවරයෙක් පවසයි.

හදිසි විදුලි මිලදී ගැනීම් (Emergency Power) සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබෙන අතර ඒ අනුව ඇඹිලිපිටිය සහ මාතර ඒස් පවර් බලාගාර දෙකෙන් මෙගාවොට් 120 ක් සඳහා හදිසි විදුලි මිලදී ගැනීමට අදාළ ගිවිසුම්ගතවීමට නියමිතය.

අදාළ පෞද්ගලික බලාගාර දෙකෙන් විදුලිය මිලදී ගත්තත් නොගත්තත් ගිවිසුම ප්‍රකාරව ඉදිරි මාස හයක කාලයකට ලංවිම එම බලාගාරවලට මුදල් ගෙවිය යුතු බව ද එම ඉංජිනේරුවරයා සඳහන් කරයි .

ඇමැති කංචන විජේසේකර මහතා සඳහන් කළේ දැවිතෙල් මගින් විදුලි උත්පාදනය කිරීමට ඇඹිලිපිටිය ඒස් පවර් (මෙගාවොට් 100) සහ ඒස් පවර් මාතර (මෙගාවොට් 20) බලාගාර දෙකට දැවිතෙල් ලබාදීමට ලංවිම එකඟත්වය පළකර තිබෙන බවයි.

කෙසේ වෙතත් මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතා 2022 පෙබරවාරි මස විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ 2015 වසරේ සිට 2020 දක්වා කාලයේදී හදිසි විදුලි මිලදී ගැනීමට 16 වතාවක් ලංවිම අවසර ඉල්ලා තිබුණත් ඊට අවසර නොදීම නිසා රුපියල් කෝටි 57,100 ක මුදලක් රටට ඉතිරි වූ බවයි. නොඑසේ නම් හදිසි විදුලි මිලදී ගැනීමේ ගිවිසුමට අනුව අදාළ මුදල එම බලාගාරවලට ගෙවීමට සිදුවන බවකි.

මේ වනවිට සමනලවැව ඇතුළු විදුලි බලාගාර ආශ්‍රිත ජලාශ සිදීයාම නිසා දකුණු පළාතට හා රටේ අඛණ්ඩ විදුලි සැපයුමට මෙම හදිසි මිලදී ගැනීම් ඉදිරි දිනවල ආරම්භ කිරීමට නියමිතව ඇත.

නිසි කලට යෝජිත අඩු වියදම් බලාගාර ඉදි නොකර නියඟ කලාවලදී හදිසි විදුලිය මිලදී ගැනීම පිටුපස විශාල මාෆියාවක් ක්‍රියාත්මක වන බව ද ලංවිම වෘත්තීය සමිති නායකයෝ කියති.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page