පසුගිය සමයේ රට මුහුණ දුන් අන්දමේ අවාසනාවන්ත යුගයක් මතු පරපුරට උරුම කරන්නේ නැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි .
ඔහු මේ බව ප්‍රකාශ කලේ පසුගිය දා මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයේ 150 වන සංවත්සර උත්සවයට සහභාගී වෙමින් ය.
සියලු ක්ෂේත්‍රයන්හි නවීකරණයක් සමඟින් රට ඉදිරියට ගෙන යමින්පසුගිය සමය තුළ රටටත්, ජනතාවටත් මුහුණ දීමට සිදුවූ අන්දමේ අවාසනාවන්ත යුගයකට මතු පරපුරට මුහුණ දීමට සිදු නොවන අන්දමින් රටේ ආර්ථිකය ශක්තිමත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කරයි .
ණය ප්‍රශස්තකරණ වැඩසටහන සාර්ථක කරගත් පමණින් රටේ ආර්ථික ගැටලුවලට විසඳුම් හිමි නොවන බවත්, නිවැරදි තීන්දු තීරණ සමඟ ආර්ථිකය ගොඩනැගීමේ වැඩපිළිවෙළ කඩිනමින් ආරම්භ කළයුතු බවත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
අලුතින් සිතා අලුත් වැඩපිළිවෙළක් සමඟ ඉදිරියට නොගියහොත් තවත් වසර 10ක් යන තැන රට නැවත ආර්ථික අභියෝගයකට ලක්වීම නොවැළැක්විය හැකි බව ද ජනාධිපතිවරයා සඳහන් කලා.
සියලු ක්ෂේත්‍රයන්හි නවීකරණයක් සමඟින් රට ඉදිරියට ගෙන යාම තම අපේක්ෂාව බව සඳහන් කළ ජනාධිපතිවරයා ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම ලබා ගැනීමට තාක්ෂණ ප්‍රවර්ධන සභාව ද, රටෙහි ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීමට ඩිජිටල් පරිවර්තන කොමිසම ද ස්ථාපිත කිරීමට කටයුතු කරන බවත් පැවසීය.
ජනාධිපතිවරයා තවදුරටත් සදහන් කර සිටියේ …
රජයේ සහ රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල ගණනාවක් ආරම්භ කිරීමට අප සැලසුම් කර තිබෙනවා. එම විශ්වවිද්‍යාලවලට ඇතුලත්වන සිසුන්ට සහන ණය ලබාදීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරනවා. අවම වශයෙන් ඉංජිනේරුවන් 10,000ක්, වෛද්‍යවරුන් 7500ක් වැනි පිරිසක් වසරකට මෙරට විශ්වවිද්‍යාල තුළින් බිහි විය යුතුයි. ඒ වගේම තොරතුරු තාක්ෂණ විෂයට ද විශාල ඉල්ලුමක් තිබෙනවා. මෙම අවශ්‍යතා අඛණ්ඩව සපයාගත යුතුයි.
අපට අවශ්‍ය අනාගත පරපුර වෙනුවෙන් යහපත් රටක් ගොඩනඟා දීමටයි. ඒ නිසා පසුගිය වසරේ සිදු වූ දේ නැවත කිසිදා මේ රටේ සිදු නොවන ලෙස ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැඟීමට කටයුතු කිරීම අප සියලුදෙනාගේ වගකීම වෙනවා.
ඒ සඳහා රජය නව පියවර ගණනාවක් ගෙන තිබෙන බව කිවයුතුයි. ආයෝජන මණ්ඩලය සහ අපනයන මණ්ඩලය යන ආයතන වෙතින් බලාපොරොත්තු වූ ප්‍රතිඵල ලැබී නැහැ. ඒ වෙනුවෙන් ආර්ථික කොමිසමක් පත් කර අදාළ බලතල කේන්ද්‍රගත කිරීමට කටයුතු කරනවා. එවිට ආයෝජන සඳහා එක් එක් අමාත්‍යාංශවලට ගොස් අනුමැතිය ලබා ගැනීමට අවශ්‍ය වන්නේ නැහැ. ආයෝජකයන් හට එක ස්ථානයකින් සියලු කටයුතු සපුරාගත හැකියි.
මීට පෙර 1978 දී ජේ.ආර්. ජයවර්ධන මහතා මහ කොළඹ ආර්ථික කොමිසම ස්ථාපිත කර මහකොළඹ සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කළේ ද ඒ ආකාරයටයි. ඒ වගේම ආයෝජන සදහා අවශ්‍ය යටිතල පසුකම් සපයා දීමට වෙනම මණ්ඩලයක් ඇති කිරීමට ද අප බලාපොරොත්තු වෙනවා.
ඒ වගේම සෑම රාජ්‍ය ආයතනයකින්ම උපරිම ප්‍රායෝජන ලබා ගත යුතුයි. මේ වන විටත් අමාත්‍යාංශවල අනවශ්‍ය වියදම් කප්පාදු කිරීමට අප සැලසුම් කර තිබෙනවා. ඒ වගේම රජයට අයත් ඉඩම්, ගොඩනැඟිලි හා වාහන පිළිබඳ වාර්තාවක් සකස් කිරීම අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් සිදු වෙනවා. මේ වසර අවසන් වන විට එම තොරතුරු ලබා ගැනීමට හැකිවනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.
අද ආණ්ඩු පක්ෂයේ වුණත්, විපක්ෂයේ වුණත් සාම්ප්‍රදායික දේශපාලන සටන් පාඨවලින් වැඩක් නැහැ. රට මුහුණදී තිබෙන අභියෝගය මනා ලෙස විග්‍රහ කරමින් ඒ සඳහා ඇති විසඳුම් සමග අප ඉදිරියට යා යුතුයි. එම විසදුම් පිළිගන්නේ නැති නම් ප්‍රශ්න විසඳිය හැකි විකල්ප ඉදිරිපත් කළ යුතුයි.
ඒ වගේම රටට අවශ්‍ය තාක්ෂණික දැනුම ලබා ගැනීම සඳහා තාක්ෂණ ප්‍රවර්ධන සභාවක් ඇති කිරීමටත්, රටට ඩිජිටල්කරණය ගෙන ඒමට ඩිජිටල් පරිවර්තන කොමිසම ඇති කිරීමටත් අප බලාපොරොත්තු වෙනවා. රටේ සියලු ක්ෂේත්‍රයන්හි විශාල නවීකරණයක් එමගින් අපේක්ෂා කරන අතර, 2048 වන විට දියුණු ශ්‍රී ලංකාවක් ඇති කිරීම අපේ අරමුණ බව කිවයුතුයි.
අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයෙන් දිස්ත්‍රික්කයේ පළමු ස්ථානය ලබාගත් විද්‍යාලයේ සිසුන් වෙත සහතික පත්‍ර පිළිගැන්වීම ද එදින ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.
අග්‍රාමාත්‍ය විජයානන්ද දහනායක මහතාගෙන් පසුව මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයට රාජ්‍ය නායකයෙකු පැමිණි ප්‍රථම අවස්ථාව සනිටුහන් කරමින් අද පෙරවරුවේ විද්‍යාලය වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විද්‍යාලයට වසර 150ක් සපිරීම නිමිත්තෙන් ස්ථාපිත කර තිබූ සමරු ඵලකය නිරාවරණය කළ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් විද්‍යාල පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය. එසේම ජනාධිපතිවරයා සමූහ ඡායාරූප කිහිපයකට ද පෙනී සිටියේය.
අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත්. යු. ගමගේ, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නිහාල් රණසිංහ, මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති හිටපු විනිසුරු එම්.පී.බී. දෙහිදෙණිය, ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ කෞෂල්‍ය නවරත්න, NSBM හරිත විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය චමින්ද රත්නායක යන මහත්වරුන් ද මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයේ විදුහල්පති ධම්මික හේවාවසම් මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය, සිසුන්, දෙමාපියන්, ආදි සිසුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.




