කොවිඩ් වසංගතය හේතුවෙන් පසුගිය වසර කිහිපය තුළ නතර කර තිබූ එක්සත් රාජධානියේ සෞඛ්‍ය ආරක්ෂණ හා ශිෂ්‍යත්ව වැඩසටහන 2024 ජනවාරි මාසයේ දී නැවත ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සදහන් කරයි.

පසුගියදා අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍යවරයා හමුවුණු බ්‍රිතාන්‍ය නියෝජ්‍ය මහ කොමසාරිස් Lisa Whanstall මහත්මිය හා බ්‍රිතාන්‍ය සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ දෙපාර්තමේන්තුවේ ෆ්ලෙමින්( Fleming) අරමුදලේ නියෝජිත පිරිස මේ පිළිබඳව අග්‍රාමාත්‍යවරයාට දැනුම් දි තිබේ .

සෞඛ්‍ය අමාත්‍යාංශය, ලෝක සෞඛ්‍ය සංවිධානය සහ අනෙකුත් ආයතනවල සහාය ඇතිව ප්‍රදාන වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන අතර මෙම වැඩසටහන යටතේ සෞඛ්‍ය අංශ කාර්ය මණ්ඩලය සඳහා පුහුණු ශිෂ්‍යත්ව ලබාදෙනු ඇත .

රටේ සෞඛ්‍ය පද්ධතියේ ප්‍රගමනයට ඉමහත් ප්‍රයෝජනවත් වන මෙම සෞඛ්‍ය සේවා වැඩසටහන සදහා ශ්‍රී ලංකාව තෝරා ගැනීම පිළිබඳව අග්‍රාමාත්‍යවරයා මෙහිදී එක්සත් රාජධානියට ස්තූතිය පල කර සිටියා.

ශ්‍රී ලංකා සෞඛ්‍ය සේවාව බ්‍රිතාන්‍ය ක්‍රමය මත ක්‍රියාත්මක වන බවත් එවැනි සෞඛ්‍ය සේවා වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී කිසිදු දුෂ්කරතාවයක් ඇති නොවන බවත් පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා ග්‍රාමීය ප්‍රදේශවල තරුණ තරුණියන්ට ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනය හඳුන්වා දෙන ලෙස වැඩබලන මහ කොමසාරිස් කාර්යාලයෙන් සහ බ්‍රිතාන්‍ය කවුන්සිලයෙන් ඉල්ලා සිටියා

බ්‍රිතාන්‍ය කවුන්සිලයේ මෙරට නේවාසික අධ්‍යක්ෂ ඔර්ලන්ඩෝ එඩ්වර්ඩ් මහතා විසින් කවුන්සිලයේ ඉංග්‍රීසි භාෂා පුහුණු ක්‍රම පිළිබඳ ප්‍රකාශන මාලාවක් අග්‍රාමාත්‍යවරයා වෙත පිළිගැන්වුනු අතර එක්සත් රාජධානියේ ෆ්ලෙමින් අරමුදලේ ආචාර්ය ජෙසිකා වොලිස් සහ වෛද්‍ය නේහා ගුලාටි, බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රධාන නිළධාරී ඇන්ඩෘ ප්‍රයිස් සහ අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් දීපා ලියනගේ මෙම සාකච්ඡාවට සහභාගි වි ඇති බව වාර්තා කරයි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page